යහපාලනයේ ගුණ නොදකින මැති ඇමැතින්ට ජනපතිගෙන් දෝස්මුරයක් | VIDEO

ආදරයට මෙන්ම අනාදරයටත් යහපාලනය ලෙස නම් කරනු ලබන තමන්ගේ නායකත්වයෙන් යුත් රජයේ සමහර මැති ඇමතිවරුන් ආණ්ඩුවේ යහගුණ ප්‍රචාරය කිරීමේ වගකීම ඉටු නොකරන බවට ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ජනාධිපතිවරයා බලයට පත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සව සභාවක්  ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන “අපි ලබපු ජයග්‍රහණ ආණ්ඩුවේ මැති ඇමැතිවරු කී දෙනාද කතා කරන්නේ?” යි විමසා සිටියේය.

දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම, ඖෂධ පනත ගෙන ඒම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම ලැබු ජයග්‍රහණ රාශිය අතරින් කිහිපයක් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරන ලදී.

“මම යන්න මිසක් ඉන්න ආපු මිනිහෙක් නෙවෙයි, හැබැයි මම කරන වැඩේ මට හරියට කරන්න ඒ අවශ්‍ය සහයෝගය ඕනේ,” යි ඔහු ප්‍රකාශ කළේය.

මහබැංකුවේ බැඳුම්කර නිකුතුවකදී සිදුවූ අක්‍රමිකතා පිලිබඳ චෝදනා විභාග කිරීමට කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ කොටස්කාරයන් මෙන්ම රාජ්‍ය නොවන මාධ්‍යද “උදේ ඉඳන් රෑ වෙනකල්” තමන් විවේචනය කරන බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විදේශ වල සිට ක්‍රියාත්මක වන විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මුදල් යොදවන බවටද චෝදනා කළේය.

“වැරදි කරපු අයට ඇඟිල්ල දික් කරනවා වගේම, වැරදි කරපු අයට දඬුවම් කරනවා වගේම අපි අපෙන්ම අහන්න ඕනේ අපේ වැඩේ අපි හරියට කියනවාද කියන කාරණය.”

මහින්ද රාජපක්ෂ පාලනය පරදා රජය බාර ගත් අය පසුගිය තුන් අවුරුද්ද තිස්සේ තමන්ගේ වැඩ කොටස නිසියාකාර ඉටු කර තිබේදැයි සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා යෝජනා කර සිටියේය.

තුන් අවුරුද්දක් තිස්සේ කළ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට තවත් කල් තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ විවේචනයට ලක්වූ නම් නොකළ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සිහිපත් කර දුන්නේය.

පාර්ලිමේන්තු වටරවුමේ මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් ඉදිකිරීම සඳහා ජනාධිපතිතුමා විසින් මුල්ගල් තැබීමක්ද සිදුවිනි.

Related posts

Comments are closed.

Top