මංගල අයවැය ජනතාවට මංගල්‍යයක් කරන්න මංගල සැරසෙයි

වත්මන් ආණ්‌ඩුවේ තෙවැනි අයවැය අද (9 දා) පස්‌වරු 3.00 ට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය මගින් පොදු ජනතාවට සහ විවිධ ක්‍ෂේත්‍රයන්ට සහන රැසක්‌ ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

2018 වසර සඳහා වන සමස්‌ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය මස 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ලබන වසරේ ඇස්‌තමේන්තුගත සමස්‌ත වියදම රුපියල් බිලියන 3982 කි. මෙම වියදම පියවා ගන්නා ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ගෙන එන යෝජනා මෙම අයවැය කතාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

අයවැය ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක්‌ සීමාකර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මෙන්ම ඒ අවටද දැඩි ආරක්‍ෂක රැකවල් යොදවා ඇත. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාල ඊයේ (8 දා) ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කළ අතර අද මන්ත්‍රී රථ ගාලද ආරක්‍ෂක හේතූන් මත වසා තබන බව කථානායකවරයා අඟහරුවාදා (07) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

අයවැය විවාදය

අයවැය දෙවැනිවර කියෑවීමේ විවාදය ලබන 10 වෙනිදා සිට 16 වැනිදා දක්‌වා සෙනසුරාදා දිනයන්ද ඇතුළත්ව දින හයක්‌ පෙරවරු 9.30 සිට පස්‌වරු 7.30 දක්‌වා පැවැත්වේ. 16 වැනිදා සවස අයවැය දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම සිදුකෙරේ.

අනතුරුව අයවැය තුන්වැනිවර කියෑවීම හෙවත් කාරක සභා අවස්‌ථාවේ විවාදය මෙම 17 වැනිදා සිට දෙසැම්බර් 9 දා දක්‌වා පෙරවරු 9.30 සිට පස්‌වරු 7.30 දක්‌වා පැවැත්වේ. මෙහිදී ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාද කෙරේ. කාරක සභා අවස්‌ථා විවාදය අවසන් වන දෙසැම්බර් 9 දා සවස 7.00 ට අයවැය අවසන්වර ඡන්ද විමසීම සිදුකෙරේ.

අයවැයට පෙර සහන

මේ අතර අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ වර්ග 05 ක සහ පාම් තෙල් සහ පොල් තෙල්වල ආනයනික බදු බදාදා (08 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 ත් 50 ත් අතර මිල ගණන්වලින් අඩු කිරීමට තීරණය කළ බව සිය මංගල අයවැය කතාව පැවැත්වීමට පෙර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවසීය

හාල් මැස්‌සන්, අර්තාපල් , ලොකු ලූනු, පරිප්පු ,කරවල ආනයනික බදු ඉවත්කරනු ලැබූ භාණ්ඩ අතර වේ .

ඊයේ (08) මුදල අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය. අයවැය ඔස්සේ තවත් භාණ්ඩ කිහිපයක පිල ගණන් පහල යාමක් පිළිබඳව අමාත්‍යවරයා ඉඟි පළ කළේය. ඒ අතර ඉන්ධන ද වෙතැයි අපේක්ෂා කෙරේ . 

Related posts

Comments are closed.

Top