ලෙබනනයෙන් වහාම ඉවත් වන්නැයි සෞදිය සිය පුරවැසියන්ගෙන් ඉල්ලයි

 

ලෙබනනයේ සිටින සෞදි පුරවැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙසට සෞදි අරාබි පාලන තන්ත්‍රය විසින් නියෝගයක් ලබා දී තිබේ.

එසේම ලෙබනනයට සංචාරය නොකරන ලෙසට ද ඉල්ලීමක් කර ඇත.

“ලෙබනන් ජනරජයේ පවතින වාතාවරණය අනුව, එරට සංචාරයක නිරතව හෝ රට තුල ජීවත්ව හෝ සිටියි නම් ඉන් හැකි ඉක්මනින් ඉවත් වීමට කටයුතු කරන ලෙසත්, එහි සංචාරය නොකරන ලෙසත් රාජධානිය විසින් ඉල්ලා සිටියි,” යනුවෙන් සෞදිය නිල මාධ්‍ය නිවේදනයක් කර ඇත.

සිය ජිවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය නිසා, සෞදි පිටුබලය ලත් ලෙබනන් අග්‍රාමාත්‍ය සාද් හරිරි 4 සෙනසුරාදා ඉල්ලා අස් වීමත් සමඟ රටවල් දෙක අතර පවතින පීඩනය මෙසේ  ඉහල ගොස් තිබේ.

එදිනම යේමනයේ සිට තමන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම පිළිබඳව ඉරාන උපකාර ලත් ලෙබනන් කැරලි කණ්ඩායමක් වන හිස්බුල්ලා වෙත සෞදි අරාබිය චෝදනා එල්ල කර තිබුණි.

කෙසේ වෙතත් සුන්නි මුස්ලිම්වරුන්ගේ බල මධ්‍යස්ථානයක් වන සෞදිය සහ ෂියා මුස්ලිම්වරුන්ගේ පාලන තන්ත්‍රයක් වන ඉරානය අතර කාලාන්තරයක් තිස්සේ පවතින ගැටුම්වලට ලෙබනනය පැටලෙනු  එරට වැසියෝ භීතියට පත්ව සිටිති.

නැවත එන්න

ලෙබනනයේ විවිධ දේශපාලන කණ්ඩායම් හිටපු අග්‍රාමාත්‍ය සාද් හරිරි නැවත කැඳවා තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් නිකුත් කර නොමැති නමුත් රියාද් අගනුවර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පවත්වන බව ඔහුගේ කාර්යාලය පවසා ඇත. 

Related posts

Comments are closed.

Top