“අඹ ගෙඩි තුනට නඩු පවරන ආණ්ඩුවක් 27ක් මැරුවාම නිහඬයි” | VIDEO

වැලිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවට ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධානතම සංවිධානය වර්තමාන රජයට චෝදනා කරයි.

පස් අවුරුද්දකට ඉහතදී 27 දෙනකු ඝාතනය කළ ආරක්ෂක භට කණ්ඩායමක වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුටත් එරෙහිව නඩු පවරා නැත.

ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකුට විදේශ ගතවීමට ඉඩ සැලසු බවට බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් රජයට චෝදනා කළේ අතපසුවූ යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලන සන්දේශයක් භාරදීම සඳහා ජනාධිපති කාර්යාංශය වෙත කෙරුනු පා ගමානකදී මාධ්‍යවේදීන් අමතමිනි.

“අඹ ගෙඩි තුනකට නඩු පවරන්න පුලුවන්නම් ඇයි මේ  27ක් මරපු සිද්ධියකට නිහඬ වෙන්නේ?” යනුවෙන් ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

“ගෝඨාභයගේ බලල් අත්”

වැලිකඩ සමුහ ඝාතනය පිළිබඳව විභාග කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව රජයට භාරදී වසර දෙකක් ගතවී ඇතත්, තවමත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නැති බව පා ගමනට එක්ව සිටි නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේය.

යුක්තිය ඉටු කරන මෙන් උද්ඝෝෂණයේ යෙදෙන තමන් ඇතුළු සංවිධානයේ ප්‍රධාන ක්‍රියාධාරීන්ට කිහිප වර ජීවිත තර්ජන එල්ලවී තිබුනත් ඒ ගැනද රජය පියවර නොගැනීම ගැන සුදේශ් නන්දිමාල් කනස්සල්ල පල කළේය.

“ගෝඨාභය මැර පාලනයේ බලල අත් ඉහල පුටුවල හිඳීම” ඊට හේතුව ලෙස ඔහු විසින් දක්වන ලදී.

වැලිකඩ සිරගෙදරට කඩා වැදී 2012 වර්ෂයේදී සිරකරුවන් 27ක්  ඝාතනය කර තවත් හතලිහකට් වැඩි පිරිසකට තුවාල සිදු කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ දීම මත බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙයින් මසකට ඉහත යෙදුනු ජාත්‍යන්තර සිරකාර දිනයේදී කියා සිටියේය.

බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සංදේශය ජනාධිපති කාර්යාංශය කරා යන පා ගමනට බාධා කළ නිල ඇඳුම් නොමැති පොලිස් භටයකුට දේශපාලන සිරකරුවන් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කාර මාරිමුත්තු සතිවෙල් පියතුමා ඇතුළු ක්‍රියාධාරීන් අභියෝග කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.

පසුව කැඳවාගෙන යන ලද පිරිස විසින් ජනාධිපති ලේකම්වරයකුට තම සංදේශය භාරදෙන ලදී. 

Related posts

Comments are closed.

Top