සේනාධිනායක ජනාධිපතිගෙන් යුද සෙන්පතියන්ට අනතුරු ඇඟවීමක් | VIDEO

 

එල්ටීටීඊ යට එරෙහිව යුද වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා මහත් ප්‍රශංසාවට පාත්‍ර කළ ජනාධිපතිවරයා එහි දී සිදු කළ බවට චෝදනා නැගෙන යුද නීතියට පටහැනි අපරාධ වලට වගකිවයුත්තන්ට අධිකරණය හමුවට පැමිණෙන්නට සිදුවන බවට හමුදාපතිවරයා ප්‍රමුඛ යුද සෙන්පතියන් සිය ගණනක් හමුවේ අනතුරු ඇඟවීය.

යුද්ධයේ අවසාන සමයේ එම අපරාධ සිදුකෙරුනේ “ඇතැම් දේශපාලන අවශ්‍යතා මත  සහ පෞද්ගලික සම්බන්ධතා අනුව” බව ජනාධිපතිවරයා විසින් යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි හමුදා නායක පිරිසක් හමුවේ අවධාරණය කළේ කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ රැස්වීමකදීය.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ මෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමූහයක්  ජනාධිපතිවරයා විසින් අමතන ලද්දේ ඉතිහාසයේ පළමු වතාවට බවයි.

යම් යම් සිදුවීම්

යුද්ධය අවසාන භාගයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වීසින් සිදු කරන ලද බවට දෙමළ ජනතාවත්, එක්සත් ජාතීන් ඇතුළු මානව හිමිකම් සංවිධානත් චෝදනා නගන යුද අපරාධ “යම් යම් සිදුවීම්” ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද වැදුනු ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව තමන්ගේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල යෝජනා පිළිපදිමින් “රණවිරු දඩයමක” යෙදෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ සිංහල ජාතිකවාදී අනුගාමික පිරිස් නගන චෝදනා හුදු දේශපාලන ප්‍රකාශ ලෙසින් සේනාධිනායකයාද වන මෛත්‍රිපාල සිරිසේන විසින් තදින් බැහැර කරන ලදී.

එම චෝදනා නගන්නන් අතර දේශපාලකයන්, මාධ්‍යවේදීන් සහ හමුදාවේ විශ්‍රාමික ඇතැම් නිලධාරීන් මෙන්ම නොදැනුවත් ඇතැම් ජනයාද ඉන්නා බව ජනාධිපතිවරයා හමුදා නිලධාරීන්ට කියා සිටියේය.

කෙසේ වෙතත්, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීම සම්බන්ධයෙන් ‘කිසිවකුටත් විරුද්ධ චෝදනාවක් නැතැයි ප්‍රකාශ කළ ඔහු අනාගතයේ එවන් චෝදනා නැගෙන්නට ඉඩ තබන්නේ නැති වගටත් සහතික වීය.

හෘද සාක්ෂිය විමසන්න

“නුමුත් ඔබ සෑම කෙනෙක්ම ඔබේ හෘද සාක්ෂිය අනුව පිළිගත යුතු වෙනවා, යුද හමුදාවට අයත් නොමැති දෙයක්, යුද්ධයට අයිති නොමැති දෙයක්, රටේ නීතියට එකඟ නොවන දෙයක්, රටේ සදාචාරයට එකඟ නොවන දෙයක්, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන දෙයක්, ඇතැම් දේශපාලනඥයන්ගේ වුවමනාවන් මත, හමුදාවේ ඇතැම් නිලධාරීන් යොදවාගෙන කර ඇති යම් යම් සිද්ධීන් පිළිබඳව එල්ලවී ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අපි දන්නවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක සේනා හමුවේ ඇති අභියෝගය පහදා දුන්නේය.

එවැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ආරක්ෂක හමුදා නිලධාරීන් වරදක් කර ඇති බව ඔප්පු නොවුනොත් අධිකරණය මගින් නිදහස් කොට යවනු ඇති බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පල කළේය.

තමන් සමග එක්වී සංහිඳියාවෙන් යුත් රටක් ගොඩනැගීමට එක්වන ලෙස ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශනය සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකන් 30,000 කට අධික පිරිසකට නැරඹීම පිණිස සජීවී ලෙසින් විකාශනය කරන ලද බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී අවසන් අදියරේදී මියගිය නිරායුද ජනකාය අඩුම වශයෙන් හැත්තෑ දහසක් වෙතැයි ගණන් බලා ඇති එක්සත් ජාතීන්ගේ  සංවිධානය ඊට වගකිවයුත්තන් සොයාගෙන දඬුවම් දීම සඳහා රජය ගෙන ඇති පියවර ලබන සතියේ ජිනීවා නුවරදී සමාලෝචනය කිරීමට නියමිතය.

යුද අපරාධ සිදු කළ බවට චෝදනා නැගෙන සේනාංක වලට අණදුන් හමුදා සෙන්පතියන් කිහිප දෙනකුද ජනාධිපතිවරයාගේ දේශනයට සවන් දෙනු දකින්නට ලැබුනි. 

Related posts

Comments are closed.

Top