හිදැස: දේශපාලන සිරකරුවන්, විධායක ජනාධිපති, උතුරු නැගෙනහිර ඒකාබද්ධය හා සයිටම්

මෙම සතියේ ද්විභාෂා පුවත්පත් තුළ වඩාත්ම පුළුල්ව ආවරණය වූ ප්‍රවෘත්තිය වූයේ ව්‍යවස්ථා සංශෝධනයන්ය. මීට සමාන ලෙසින් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වූ ජනාධිපති කමි‍ටුවේ නිර්දේශද භාෂා දෙකේම පුවත්පත් තුළ සැලකිය යුතු ආවරණයක් ලබාගෙන තිබිණි. දමිළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් යුහුසුළු විසඳුමක් ලබාදෙන ලෙස රජයට බල කරමින් යාපනය සරසවි සිසුන් පංති වර්ජනය කර තිබිනි. අනෙකුත් ප්‍රාදේශීය ගැටළු අතර, තම නගර සභා ප්‍රදේශය වෙත වෙනම නගර සභා පරිපාලනයක් ඉල්ලමින් නැගෙනහිර පළාතේ සායින්දමරුදු වල සිදුවූ හර්තාල් ව්‍යාපාරද දමිළ පුවත්පත් තුළ ඉඩ ලබාගෙන තිබිණි. කෙසේ වුවත් දමිළ පුවත්පත් තුළ වූ මෙම ප්‍රධාන ප්‍රවෘත්ති දෙකම සිංහල පුවත්පත් තුළ එතරම් අවධානයක් ලබා නොතිබුණි. ලඟ එන පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති සිරිසේන විසින් මූලිකත්වය ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නොපැමිණීමත් සමගින්, ශ්‍රීලනිපය තුල වූ ආතතිජනක තත්වයද පුපුරන සුළු මට්ටමකට පැමිණ තිබිනි. මෙම සිදුවීමත්, එයින් පසුව වූ සිදුවීම්ද සිංහල පුවත්පත් තුළ සැලකිය යුතු තරමේ මත දැක්වීම් ප්‍රමාණයක් ජනිත කිරීමට සමත්ව තිබුණත්, දමිළ පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් සඳහන් වී තිබුණේ යන්තමිනි.

ව්‍යවස්ථා සංශෝධන: දමිළ පුවත්පත් තුල TNA විරෝධය

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ද්විභාෂා පුවත්පත් තුළ වූ විවාද, ප්‍රධාන වශයෙන් සැළකිල්ලට බඳුන් වන කරුණු ත්‍රිත්වයක් වෙත නාභිගත වී තිබිණි. ඒවා නම් (1) රාජ්‍යයේ ස්වභාවය, (2) බෞද්ධාගමට ලැබෙන තැන, සහ (3) විධායක ජනාධිපති ධූරය යන කරුණුය. මෙහිදී රාජ්‍යයේ ස්වභාවය සහ බෞද්ධාගමට ලැබෙන තැන භාෂා දෙකම තුළ පොදු ප්‍රශ්න බවට පත්ව තිබුණත්, ඇතැම් විට සිංහල පුවත්පත් තුළ වැඩියෙන්ම කථාබහට පාත්‍ර වූ කරුණ වන විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ගැටළුව දමිළ පුවත්පත් වාර්තාවන් තුළ විශේෂයෙන් නොදැක්වුණු තරමි.

මින් පෙරද මාධ්‍ය විශ්ලේෂණයක (වෙළුම 07, කාණ්ඩය 34) සඳහන් වූ ආකාරයට, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් දමිළ පුවත්පත් දරා සිටියේ විශාල වශයෙන් සෘණාත්මක ස්ථාවරයකි. අතුරු වාර්තාව සම්බන්ධයෙන් වූ තුන්දින පාර්ලිමේන්තු විවාදය, දමිළ පුවත්පත් තුළ ව්‍යවස්ථා සංශෝධනයන්ට එරෙහිව වූ විරෝධය කුළුගන්වා තිබිණි.

දමිළ වාර්තාකරණය තුළ ප්‍රධාන කතිකා ධාරා දෙකක් පැන නැඟී තිබිණි. පළමුව, දමිළ පුවත්පත් තුළ වූ ජාතිකවාදී කොටස් මගින්, අතුරු වාර්තාවට දෙමළ ජාතික සන්ධානයෙන් ලබාදී තිබූ සහාය තදබල ලෙස හෙලා දැක තිබිණි. විවාදය සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එකතු වූ දිනයේදී වාලම්පුරි පුවත්පතේ කතුවැකිය මගින් අතුරු වාර්තාව සඳහා දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහාය සමකොට තිබුණේ බලවත් ද්‍රෝහීවීමකටයි. මෙම සතිය තුළ පසුව පළවූ වීරකේසරී මත දැක්වීමේ ලිපියක් මගින් අතුරු වාර්තාවේ වූ යෝජනාවන් නිර්වචනය කොට තිබුණේ දමිළ දේශපාලන ඉල්ලීම් පාවාදීමක් ලෙසිනි. තිනකුරල් සිරස්තලයකින් ප්‍රකාශ කෙරී තිබුණේ, උතුරු-නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීමක් ලබා නොදෙන ඕනෑම ව්‍යවස්ථානුකූල විසඳුමක් ප්‍රතික්ෂේප කිරීමට, දමිළ සිවිල් සමාජ කණ්ඩායම් 170 ක් ඒකමතිකව තීරණය කර ඇති බවයි.

කාටූනය: වීරකේසරී -වමේ: විශ්වාසෙන් ඉන්න, මම එනවා දකුණේ: නව ව්‍යවස්ථාව

දෙවෙනුව, දමිළ පුවත්පත් තුළ වූ වඩාත් මධ්‍යස්ථ මතධාරී කොටස් මගින්, රජය සරලවම සිංහල ජාතිකවාදී වුවමනා එපාකම් සතු‍ටු කිරීමට කටයුතු කරනා පසුබිමකදී දෙමළ ජාතික සන්ධානය විසින් සාමකාමී ප්‍රවේශයක් අනුගමනය කිරීම ප්‍රශ්න කොට තිබිණි. ඔවුන්ගේ විවේචනය වැඩි වශයෙන් රජය වෙත එල්ලවී තිබිණි. තිනකුරල් කතුවැකිය මගින් යෝජනා කොට තිබුනේ, ලඟ එන පළාත් සභා මැතිවරණයේදී ඔවුන්ගේ දේශපාලන වාසිය අනතුරේ හෙළන ආකාරයේ ප්‍රගතිශීලී ස්ථාවරයන්ට පැමිණීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අකමැති වනවා විය හැකි බවයි.

ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ කතිකාව තුළ, දෙමළ ජාතික සන්ධානය කෙරෙහි -විශේෂයෙන්ම එහි නායකත්වය කෙරෙහි සතුරු ආකල්පයක් දක්නට ලැබුණු අතර, අඩු තරමින් ඔවුන් නිවට සහ කොඳු පණ නැති රජයේ අනුගාමිකයින් ලෙසත්, නරකින් නරකට ගතහොත් ද්‍රෝහීන් ලෙසත් චිත්‍රණය කොට තිබිණි. මෙය කරුණු තුනක් නිසාවෙන් සිදුවී තිබිණි. (1) මෙම ගැටළුව සම්බන්ධයෙන් දමිළ පුවත්පත් හෝ දමිළ ජනතාව හා කතාබහ කිරීම සඳහා පක්ෂය ප්‍රමාණවත් තරමින් යොමුවී නොතිබුණි. ඒ වෙනුවට දෙමළ ජනතා සභාව වැනි බලවේග මගින් සිදුවූ දෙය, සිදුවන දෙය සම්බන්ධයෙන් අදහස් ජනගත කරන්නට යෙදී තිබිණි. (2) දෙමළ ජාතික සන්ධානය එක්සත් පෙරමුණක් ලෙසින් ඉදිරිපත් වීමට අපොහොසත් වී තිබිණි. සන්ධානය සැදි අනෙකුත් පක්ෂයන්, ඉලංගෛ තමිල් අරසු කච්චි ප්‍රධාන පක්ෂයට සම්පූර්ණයෙන්ම වෙනස් වූ අදහසක් ඊට ප්‍රතිපක්ෂව දරා සිටි අතර, උතුරු පළාත් සභා මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් මෙම සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියම ප්‍රතික්ෂේප කරමින් දමිළ දිනපතා පුවත්පත් තුළ දිනපතාම පාහේ පෙනී සිටිනු දක්නට ලැබිණි. (3) රජයේ ඉහළ පෙළේ සාමාජිකයන් විසින්, දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ ඒකීය ස්වභාවය සහ බෞද්ධාගමට මූලිකත්වය හිමිවීම දැන් පිළිගන්නා බව, පෙනෙනා ලෙසට සිංහලයන්ට සහතික කිරීම සඳහා නිරන්තරයෙන්ම පුන පුනා ප්‍රකාශ කිරීමට යෙදී තිබිණි. මෙවැනි ප්‍රකාශ නොවරදවා මුල් පි‍ටු තුළම පළ කිරීමට දමිළ පුවත්පත් වගබලා ගෙන තිබිණි. මේ මගින්, රජය හා කටයුතු කිරිමේදී දෙමළ ජාතික සන්ධානය සටකපට ලෙසින් ක්‍රියා කරනා බවට වන ප්‍රතිරූපයක් තහවුරු වීම සිදුව තිබිණි.

සයිටම් අර්බුදය: දමිළ පුවත්පත් තුළ රජය හැම අතම

සයිටම් අර්බුදය පිළිබඳ සිංහල පුවත්පත් සහ දමිළ පුවත්පත් වාර්තාකරණය සම්බන්ධයෙන් සලකා බලන විට මෙම වසර පුරාම සැලකිය යුතු තරමේ ප්‍රමාණාත්මක හිදැසක් දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ වූ ආවරණයන්, මීට සම්බන්ධ නොයෙකුත් අයවලුන්ගේ අදහස් නියෝජනයන්ගේ හරස්කඩද විශාල වශයෙන් පෙන්වා දෙමින් වඩාත් විස්තීර්ණව පළවී තිබිණි. දමිළ පුවත්පත් තුළ මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් සමස්ත වාර්තාකරණය තුළම පාහේ රජය ආධිපත්‍යය දරා සිටිනු දක්නට ලැබුණු අතර, “සයිටම් අහෝසි කරනු” අරගලය සඳහා වූ සහාය අතිශයින්ම සීමාසහිත වී තිබිණි. මෙම සතියේදීද එම තත්වයේ වෙනසක් දක්නට නොවිණි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, දමිළ පුවත්පත් මගින් ජනාධිපති කමි‍ටුවේ නිර්දේශයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් එය පිළිගැනීම විශේෂයෙන්ම වාර්තා කොට තිබුණත්, වෛද්‍ය පීඨ සිසුසිසුවියන් සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් එය ප්‍රතික්ෂේප කිරීම වාර්තා කොට නොතිබුණි. වීරකේසරී කතුවැකියක් මගින් නිරීක්ෂණය කර තිබුණේ, මෙම වෙහෙසකාරී දිගින් දිගටම ඇදෙනා අරගලය සාමාන්‍ය ජන ජීවිතය තුළ කැළඹීමක් ඇතිකිරීමට සමත්ව තිබූ බව වන අතර, මහජනයාට බාධා කිරීම නවත්වා මෙය ඉක්මනින්ම අවසන් කරගන්නා ලෙසින් එය උදක්ම ප්‍රකාශ කොට තිබිණි. මේ හරහා නිරීක්ෂණය කළ හැකි වූයේ, දකුණේ සිදුවන විරෝධතාව සහ උද්ඝෝෂණ කඩාකප්පල්කාරී බවට ඒකමතික ප්‍රවේශයකින් නිර්වචනය කරමින්, ඒ අතරේදීම උතුරේ සිදුවන විරෝධතා ව්‍යාපාරයන්ට ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන්නේ යැයි මැසිවිලි නඟනා පොදු දමිළ පුවත්පත් විලාසිතාවක් ඇති බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top