ඉරාන-ඉරාක දේශසීමාවට බලපෑ භූමිකම්පාවෙන් 335 ක් මරුට

 

ඉරාන සහ ඉරාක උතුරු දේශසීමා අතර කලාපයට බලපෑ රිච්ටර් මාපක 7.3 ක් ප්‍රබල භුමි කම්පාවක් නිසා අවම වශයෙන් 335 දෙනකු ජීවිතක්ෂයට  පත්ව තිබේ.

12 ඉරිදා එරට වේලාවෙන් රාත්‍රී 9 ට පමණ සිදු වූ අනතුරින් දහස් ගණනක් තුවාල ලබා ඇත.

භුමි කම්පාවෙන් පසුව පුද්ගලයන් 70,000 කට පමණ හදිසි නවාතැන් පහසුකම් අවශ්‍යව ඇතැයි ආධාර ආයතනයක් පවසා තිබේ.

මියගිය බහුතරයක් ඉරාන බටහිර කර්මන්ෂා පළාතේ වාසය කරන්නන් බව බලධාරීහු පවසති.

භූමිකම්පාවට ගොදුරු වුවන් විශාල පිරිසක් දේශසීමාවේ සිට කිලෝමීටර 15 ක් නුදුරින් පිහිටි සර්පොල් ඉ සහබ් නුවර වැසියන් බව ඉරාන හදිසි ආපදා සේවා ප්‍රධානි හුසේන් කොලිවන්ඩ් එරට IRINN මාධ්‍ය ආයතනය වෙත ප්‍රකාශ කර ඇත.

එහි ප්‍රධාන රෝහල් වලට හානි සිදු වී ඇති බැවින් තුවාල ලැබූ පිරිසට ප්‍රතිකාර කිරීමේදී මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වී ඇති බව ද IRINN මාධ්‍ය ආයතනය සඳහන් කර තිබේ.

ඉරාකයේ වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ දර්බන්දිකාන් නුවරට බව කුර්දි සෞඛ්‍ය අමාත්‍ය හමා රෂිඩ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

හලබ්ජා නුවරට කිලෝමීටර 30 ක් නිරිත දෙසට වන්නට, ඉරාන ඉරාක දේශසිමා ආසන්නයේ පිහිටි ස්ථානයක කිලෝමීටර 33.9 ක් ගැඹුරින් කම්පාව හටගෙන ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය(USGS) ප්‍රකාශ කර තිබේ.

එසේම එහි කම්පන තුර්කිය, ඊශ්‍රායලය සහ කුවේට් යන රටවල් වලට ද දැනී ඇත.

ලොව ප්‍රධාන විභේද රේඛා ඉරානය හරහා වැටි ඇති බැවින් එරට නිරතුරුවම භුමි කම්පා වලට ගොදුරු වේ. 

Related posts

Comments are closed.

Top