මානුස් සරණාගතයන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට PNG සැරසේ 

 

මානුස් දිවයිනේ වසා දමා ඇති ඕස්ට්‍රේලියා සරණාගත කඳවුරෙන් පිටව යෑම ප්‍රතික්ෂේප කරන 450 කට ආසන්න රැඳවියන්  සිය කැමැත්තෙන්  ඉවත්ව නොගියොත් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනු ඇතැයි පැපුවා නිව් ගිනීයාව පවසා තිබේ.

PNG ආගමන විගමන අමාත්‍ය පෙට්‍රස් තෝමස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සති අන්තයේ මේ බව ප්‍රකාශ කර ඇත.

“මධ්‍යස්ථානයේ ඉතිරිව සිටින සියලු දෙනා බරපතල සෞඛ්‍ය අවදානමකට නිරාවරණය වීමට ඇති ඉඩකඩ නිසා ඔවුන් ඉවත් කිරීමට අදාල බලධාරීන් සමඟ අපි කටයුතු කිරීමට සුදානම්,” යනුවෙන් ඔහු පවසා තිබේ.

PNG පැරාමිලිටරි ජංගම බලඇණියට අයත් මෝටර් රථ 3 ක් , සංක්‍රමණ බස් රථ 6ක් සහ ට්‍රක් රථ දෙකක් කඳවුරේ පිටත රඳවා ඇති බව මානුස් දුපතෙහි රැඳවියකු වන ඉරාන මාධ්‍යවේදී බෙහෙරුස් බුචානි ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් 13 සඳුදා පවසා ඇත.

කෙසේ වෙතත් එදින එරට වේලාවෙන් පස්වරු 5 වන තෙක්ම සරණාගත කඳවුරේ සිටින කිසිවෙක් ඉවත් නොකළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

දින 13 ක් අඳුරේ

මානුස් මධ්‍යස්ථානයේ වෙසෙන පුද්ගලයන් ආහාර, ජලය,විදුලිය වැනි මුලික පහසුකම් නොමැතිව දින 13 ක කාලයක් ගත කර ඇත.

පසුගිය 31 වැනිදා කඳවුර වසා දැමීමෙන් පසුව ද සිය ජිවිත ආරක්ෂාව පිළිබඳව ඇති බිය නිසා දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නෝ ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කරති.

කෙසේ නමුත් ආසන්න දිනවලදී සරණාගතයන් 100 දෙනකුට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් නව වාසස්ථාන කරා ගොස් තිබේ.

රැඳවියන් සඳහා ඉදිකළ නවාතැන්වල වැඩ කටයුතු අවසන් නැති බැවින් ඒවා පදිංචි වීම සඳහා සුදුසු මට්ටමක නැතැයි මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර තිබුනි.

තාවකාලික නවාතැන් කඩා දමයි

සරණාගතයන් 600 දෙනකු පමණ එක් වී ගොඩ නගා තිබුණු තාවකාලික නවාතැන් පැපුවා නිව් ගිනීයා ආගමන විගමන බලධාරීන් විසින් 10 සිකුරාදා කඩා දමා ඇත.

එදින ස්වේච්ඡාවෙන්ම බස් සහ ට්‍රක් රථ වලට ගොඩවුණු රැඳවියන් 60 දෙනකු පමණ නව වාසස්ථාන වෙත යොමු කිරීමට හැකි වුනු බව පොලිසියේ ප්‍රධාන අධ්‍යක්ෂ ඩොමිනික් කාකස් පවසා තිබේ.

“නාවික හමුදා කඳවුරේ සිටි පොලිස් සහ හමුදා භටයන්…. සරණාගතයන් අලුත් නවාතැන් වෙත විධිමත් සහ සුක්ෂම අයුරින් යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සලසනවා.  නැවත පදිංචි කිරීමේ කටයුතු හොඳින් සිදු වෙනවා,” යැයි ඔහු පැවසුවේය.

Related posts

Comments are closed.

Top