මයිලෝ සීනි තිත්ත වී මෛත්‍රී දීපව්‍යාප්ත විරෝධතාවකට සැරසේ | VIDEO

 

බහුජාතික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ඉහල අලෙවියක් ඇති පානයකට එරෙහිව රටපුරා උද්ඝෝෂණයේ යෙදෙන බවට ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

මයිලෝ පානයේ අඩංගු ඉහල සීනි ප්‍රමාණය පිළිබඳව නෙස්ලේ සමාගම පාරිභෝගිකයන් මෙන්ම තමන් ද නොමග යවා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බරපතල ප්‍රහාරයක් එල්ල කළේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සති අන්තයේ  කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමිනි.

“මම මේ සමාගමට කියනවා මේ සියයට 16.5 සියයට 5 ටවත් අඩු කෙරුවේ නැත්නම් මම ඉදිරි මාස ගානෙම මේකත් අරගෙන රට හැමතැනම ගිහින් මම කියනවා මේ ගැන,” යි ජනාධිපතිවරයා කියා සිටියේ මයිලෝ පැකට්ටුවක් ප්‍රදර්ශනය කරමිනි.

රටේ ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු කරන ප්‍රධාන සාධකයක් වන්නේ සීනි බව පෙන්වා දුන් ජනාධිපති සිරිසේන ඉල්ලා සිටියේ පැණි බීම බද්ද මයිලෝ පානයටත් පනවන ලෙසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2018 අයවැය මගින්  වහාම ක්‍රියාත්මක වන පරිදි පැණි බීම වල අඩංගු සෑම සීනි ග්‍රෑම් එකකටම සත පනහක බද්දක් පනවා තිබේ.

“හැබැයි බද්ද විතරක් නෙවෙයි නීතියක් නැත්නම් අපි නීතියක් හදන්න ඕනෑ මේවා නිෂ්පාදනය කරන කොට තිබිය යුතු සීනි ප‍්‍රමාණය පිළිබඳවත්,” යයි ජනාධිපතිවරයා කියා සිටියේය. “නීතියක් නැත්නම්. අපිට ඒ සඳහා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මම මේ ගැන අවධානය යොමු කරනවා.”

රජය විසින් සංවිධානය කර තිබූ පා ගමනට අනුග්‍රහය දක්වන වෙළෙඳ කුටි වලද තමන්ගේ දෝෂ දර්ශනයට ලක්වූ පානය තිබුනු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප‍්‍රමාණය වර්ණ මගින් සංකේතවත් කෙරෙන ගැසට් පත්‍රය  අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහතික කර තිබුනේ පසුගිය වසරේ ජූනි මාසයේය. 

Related posts

Comments are closed.

Top