ලෝකයේ ලොකුම සාමසාධක සමුළුවට ශ්‍රී ලංකාවෙන් නියෝජිත මණ්ඩලයක්

එක්සත් ජාතීන්ගේ සාමසාධනයට භට පිරිස් යොදවා ඇති රටවල ආරක්ෂක අමාත්‍ය රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් ප්‍රමුඛ ඉහල පෙලේ නියෝජිත පිරිසක් කැනඩාව බලා පිටව ගොස් තිබේ.

කැනඩා රජයේ අනුග්‍රහයෙන් 14 අඟහරුවාදා පටන් දෙදිනක් මුළුදෙන වැන්කුවර් නුවර එක්සත් ජාතීන්ගේ දෙවැනි සාමසාධක සමුළුව සාමසාධනයේ යෙදෙන රටවල ආරක්ෂක අමාත්‍ය වරුන්ගේ විශාලතම එකතුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ට අමතරව  ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න සහ හමුදා සම්බන්ධීකරණ නිළධාරි මේජර් ජෙනරාල් ඩීඒආර් රණවක ඇතුළු සහභාගි වනු ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ගගන හා කියා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් හා නාවික හමුදා නියෝජිත පිරිස්ද ජගත් සාමසාධක සමුළුවට සහභාගී වනු ඇතැයි හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

සමුළුව ආරම්භ වීමට පෙරාතුව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ජාලය ඇමතූ ක්ෂේත්‍ර සහාය පිළිබඳ නියෝජ්‍ය ලේකම් අතුල් ඛාරේ ප්‍රකාශ කළේ ලෝකය පුරා සාමසාධනය ශක්තිමත් කිරීම සඳහා සියලු රටවලින් ‘නව කැපවීමක්’ අවශ්‍ය කරන අවස්ථාවක පැවැත්වෙන වැන්කුවර් හමුව තීරණාත්මක බවයි.

රටවල් අසූවකට වැඩි සංඛ්‍යාවක් සමුළුවට සහභාගිවීමේ අපේක්ෂාව පල කර ඇතැයි පැවසූ නියෝජ්‍ය ලේකම් වරයා එය ලෝකයේ රටවල කැපවීම පෙන්වන සාධකයක් බවට විශ්වාසය පල කළේය.

හයිටියේ සාමසාධන රාජකාරියේ යොදවා තිබියදී බාල ළමා අපචාර සිදුකිරීමේ චෝදනා නැගුනු සියයකට අධික සෙබල පිරිසකට එරෙහිව පියවර ගෙන නැතැයි චෝදනා කරමින් කැනඩා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගැරී ආනන්දසංගරී ශ්‍රී ලංකාව වැන්කුවර් සමුළුවට සහභාගි කරවා ගැනීම පිළිබඳව විරෝධය පල කර තිබුනි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2006-2007 වසරවලදී හයිටියේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකාවේ හමුදා භටයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් වහාම පියවර ගත් රජය ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා අධිකරණ දෙකකින් පවත්වන ලද පරීක්ෂණ මගින් දඬුවම් පමුණුවන ලද බව දැනුම් දී තිබේ.

“ගන්නා ලද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් කරන ලද දැනුම් දීම පිළිගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2014 සැප්තැම්බර් 29 සිට එම කරුන සමාප්ත වූ ලෙස එක්සත් ජාතීන්ගේ කාර්යාංශය සලකන බව ලිඛිතව දැනුම් දී ඇත,” යි කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අහමඩ් ඒ ජවාඩ් නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

Related posts

Comments are closed.

Top