ශ්‍රී ලංකාවේ වධබන්ධන චෝදනා විභාග කිරීමට එක්සත් ජාතීන්ට බලපෑම්

පිරිමින් දූෂණය කිරීම ඇතුළු ලිංගික ප්‍රචණ්ඩතා ශ්‍රී ලංකාවේ සිදුකරන බවට චෝදනා රැගත් හෙලිදරව්වකින් අනතුරුව ඒ පිළිබඳව විභාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් එල්ලවන අතර විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

ලොව පුරා ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ඉකුත් සතියේ පලකරන ලද ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවාව කළ ගවේෂණයකින් කියැවුනේ ශ්‍රී ලංකාවේ පොලිසිය හා යුද හමුදාව විසින් මේ ආණ්ඩුවේ පාලන සමය තුළදී දෙමළ පිරිසකට අත් අඩංගුවේ දී වධබන්ධන පමුණුවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එක්සත් ජනපද මන්ත්‍රීවරුන්, මානව හිමිකම් සංවිධාන, වෛද්‍යවරුන් සහ මනෝ චිකිත්සකයන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සිය අවධානය ඒ කෙරේ යොමු කර ඇත.

“මේ කම්පාකරවන සුළු චෝදනා සම්බන්ධයෙන් විමසමින් සිටින අතර, ඒවා තවදුරටත් විමර්ශනය කිරීමේ වඩාත් හොඳ ක්‍රමය ගැන අපි සොයා බලමින් සිටිමු,” යි ජගත් මානව හිමිකම් ප්‍රධානියාගේ ප්‍රකාශක රූපට් කොල්විල් පවසා තිබේ.

වධහිංසා පිළිබඳව පළවූ වාර්තාව මහත් බියජනක එකක් බව ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙනු ලබන විදේශාධාර අධීක්ෂණය කරන කමිටුවේ මුල් පෙලේ සෙනේට් සභිකයකු AP පුවත් සේවාවට පවසා තිබුනි.

මෛත්‍රී-රනිල් පාලනය බලයට පත්වීමෙන් ගතවූ කාලය තුල ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 76 ක ආධාර දී ඇති එක්සත් ජනපදය පසුගිය මාසයේ තවත් මිලියන 43.88 ක් නිර්දේශ කර තිබුනි.

ණය කොන්දේසි

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීමත්, අත් අඩංගුවේ රඳවා ගැනීම්  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව සිදු කිරීමත් ණය ලබා ගැනීම සඳහා රජය විසින් අනුගමනය කළයුතු කොන්දේසි අතර වන බව විදේශාධාර අධීක්ෂණ කමිටු සාමාජික පැට්‍රික් ලීහි සෙනෙට් සභිකයා පවසයි.

“වධහිංසා පිළිබඳ මේ තොරතුරු බියජනක මෙන්ම සංහිඳියාව හා යුක්තිය වෙනුවෙන් කැපවන බවට ශ්‍රී ලංකාවේ රජය විසින් දී ඇති පොරොන්දු වලට හරස්ව යයි,” යනුවෙන් සෙනෙට් සභික ලීහි කියා තිබේ. “වධහිංසා තවත් සිදුවන්නේ නැති බවත්, වගකිවයුත්තන්ට දඬුවම් පමුණුවන බවත් ඔප්පු කළ හැකි විශ්වසනීය  සාක්ෂි දැකගැනීම මගේ අපේක්ෂාවයි.”

එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇතුළුව ජාත්‍යන්තර සබඳතා අලුතින් ගොඩ නගා ගැනීමත්, ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට පියවර ගැනීමත් සම්බන්ධයෙන් වර්තමාන රජය පිහිටුවන අවස්ථාවේ ප්‍රසාදය පලකළ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර සෙනෙට් සභික පැට්‍රික් ලීහි ප්‍රමුඛයෙකි.

කෙසේවෙතත්, යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ගිවිසගත් ආකාරයේ විශ්වසනීය ක්‍රමවේදයක් ස්ථාපිත නොකර ශ්‍රී ලංකාවට යුද්ධාධාර සැපයීම ගැන එක්සත් ජනපදය ඇතුළු බටහිර රාජ්‍ය උතුරේ සංවිධාන කිහිපයක විවේචනයට ලක්වී තිබේ.

එක්සත් ජනපද යුද්ධාධාර

AP වාර්තාවේ හෙළිකෙරෙන ආකාරයේ අපරාධ කියාපාන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන බවට එක්සත් ජාතීන්ගේ ආයතන, මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් වාර්තා කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝන මාලාවක අලුත්ම තොරතුරු බව උතුරේ ආගමික, වෘත්තීය සහ ප්‍රජා සංවිධාන නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ලවන වධහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩතා පිළිබඳව විභාග කිරීම සඳහා විශේෂ විමාර්ශනයක් ආරම්භ කරන ලෙස එම සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටී.

වධහිංසා පිළිබඳ වාර්තා එක්සත් ජනපදය විසින් නොතකා හල නොහැකි බව විදේශ කටයුතු කමිටු සභික එලියට් එංගල් මන්ත්‍රීවරයා පවසයි.

“පූර්ණ වශයෙන් වගවීමක් සිදුවන තුරු ශ්‍රී ලංකාව සමග තවදුරටත් අපේ හමුදා සබඳකම් පවත්වාගෙන යාම ගැන කල්පනාකාරී විය යුතුයි,” යනුවෙන් කොන්ග්‍රස් සභික එංගල් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාව සමග යුද සබඳතා තවත් දැඩි කරමින් ඇමරිකා එක්සත් ජනපදය සිය දැවැන්තම ප්‍රහාරක නෞකාවක් කොළඹ වරායට එවා තිබුනේ වධහිංසා වාර්තාව පළවීමට දින කිහිපයකට පෙරය.

වාර්තා වී ඇති ආකාරයේ අපරාධ සිදු වන බව තහවුරු කරමින් AP ආයතනය වෙත ලිපියක් ලියා ඇති උතුරේ මහඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ජගත් මානව හිමිකම් ප්‍රධානියාගෙන් කරන ලද ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම ගැන කණගාටුව පළකර තිබේ.

“අපේ ඉල්ලීම නොතකා හැරීම කනගාටුදායකයි,” යනුවෙන් මහ ඇමැති සීවී විග්නේස්වරන් පවසා ඇත. “ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවා තිබුනේ නම්, මේ හමුදා පරපීඩකයන් වලක්වා ලන්නට ඊට හැකියාවක් තිබුණා.”

ජිනීවාහිදී ආණ්ඩුවට ප්‍රශ්න

රටේ මානව හිමිකම් චර්යාව ජගත් මානව හිමිකම් මණ්ඩලය විසින් විමසා බැලෙන මේ සතියේ ජිනීවා හිදී ශ්‍රී ලංකාවේ නියෝජිත මණ්ඩලයට බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත යන්න මාධ්‍ය වාර්තා වලට දායක වූ  ශ්‍රී ලංකාවේ පීඩිතයන්ගේ තොරතුරු ගොනුකරන සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP)  විශ්වාසය පල කරයි.

“සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සැබෑ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නෑ,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “දැන් තියෙන විදිය ගත්තහම, මෙයාකාර කෙලෙසීම් කළ අයම තමන් පිළිබඳව විමර්ශන පවත්වන තත්වයක් තමා තියෙන්නේ.”

ශ්‍රී ලංකාවේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පත් කරන ලද ඉහලම නිලධාරීන් තිදෙනකු ඉවත් කරන ලෙස මේ වසර මුලදී ITJP ඉල්ලා තිබුනත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

නැගී ඇති චෝදනා විභාග කිරීම සඳහා “රටෙන් පිටත සිටින පාර්ශ්වද ඇතුළත්ව” සහාය දක්වන ලෙස ඉල්ලීමක් කරන රජය පොලිස් වධහිංසා ගැන සොයා බැලීම පොලිස්පති වරයාගේම සෘජු මැදිහත්වීමෙන් සිදුවන බව පවසයි.

“විශේෂ විමර්ශන ඒකකයක් ඍජුවම පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන අතර එය විද්‍යාත්මක සාක්ෂි භාවිතයෙන්ද ඇතුළුව විමර්ශන සිදු කරයි. මෙම ඒකකය, භෞතික සාක්ෂි පමණක් නොව වෝහාරික සාක්ෂිද එකතු කිරීමේ පුහුණුව ලැබූ කුසලතා පූර්ණ නිලධාරීන්ගෙන් සමන්විත වෙයි,” යනුවෙන් විදේශ අමාත්‍යංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් AP වාර්තාවට ප්‍රතිචාර දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියු ලිපියක සඳහන් වෙයි.

නොවැම්බර් 15 දා ජිනීවා නුවර පැවැත්වෙන ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව වාරික සමාලෝචනය සඳහා යන නියෝජිත මණ්ඩලයේ නායකත්වය උසුලන්නේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වායි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, ජනාධිපති කාර්යාලයේ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරිහු නියෝජිත පිරිසට ඇතුළත් වන බව විදේශ අමාත්‍යාංශය පවසයි. 

Related posts

Comments are closed.

Top