හිදැස: ජාතික කොඩි මතබේදය, ගිංතොට, ජිනීවා හා වධබන්ධන

වවුනියාවේ සිංහල විද්‍යාලයක තිබූ උත්සවයකදී ජාතික කොඩිය එසවීම උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා වන කන්දයියා සර්වේස්වරන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළ පුළුල් පරාසයක මත පල වී තිබිණි.

සිංහල පුවත්පත් තුළ වූ යම් යම් කරුණු දැක්වීම් මගින් තර්ක කොට තිබුණේ අමාත්‍යවරයා ජාතියට අවමන් කළ බවයි. එසේම ඔහුව ජාතික විරෝධියකු ලෙසින් හංවඩු ගසන්නටද කටයුතු කොට තිබිණි. දිවයින කතුවැකිය තවදුරටත් කියා සිටියේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සැබවින්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

දමිළ පුවත්පත් මෙම අදහසට අභියෝග කර සිටි අතර, ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම නිග්‍රහාත්මක ක්‍රියාවක් ලෙසින් ඔවුන් දැක තිබුණත්, එසේ කිරීමට ඇති නීත්‍යානුකූල භාවය වෙනුවෙන් ඔවුන් පෙනී සිට තිබිනි. ඒ නයින් ජාතික කොඩිය එසවීමට හෝ එසවීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම පුද්ගලානුබද්ධ අයිතියක් ලෙසින් දක්වා තිබිණි. උදයන් කතුවැකිය මගින් තවදුරටත් පෙන්වා දී තිබූ කරුණ වූයේ, වෙනත් අයකු අමාත්‍ය සර්වේස්වරන්ගේ තැන ගෙන කොඩිය ඔසවන විටදී අමාත්‍යවරයා ගෞරව පූර්වකව සිටි ඉරියව්වෙන් සිටි බවයි. සර්වේස්වරන්ට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගත යුතු බවට සිංහල දේශපාලකයන් විසින් නැඟූ හඬට විරුද්ධව වීරකේසරී ලිපියක් මගින් දක්වා තිබුණේ, 2015 දී ගෝඨාභය රාජපක්ෂ හිතවාදී විරෝධතාවයකදී ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන් නියෝජනය කරනා සංකේත නොමැතිව ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී මෙම හඬ නගන්නවුන් සැබවින්ම නිහඬව සිටි බවයි.

දමිළ මත දැක්වීම් තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබූ තවත් තේමාවක් වූයේ, ජාතික කොඩිය කෙතරම් සුදුසු වන්නේද යන්න  ප්‍රශ්න කිරීමයි. ශ්‍රී ලංකා ජාතික කොඩිය සිංහල බෞද්ධයන්ට අති උතුම් ස්ථානයක් ලබාදෙන සුවිශේෂී සංකේතයක් ලෙසින් සැලකෙන අතර, එනිසාවෙන්ම සොබාවිකවම දමිළ ප්‍රජාව ඊට දක්වන සම්බන්ධතාවය සීමාසහිත වේ. මේ ආකාරයට වූ හේතු දැක්වීමක් සමගින් හුවා දක්වා තිබුණේ, ජාතික කොඩිය සහ තමන් අතර දුරස්ථ බවක් තබා ගැනීමට දමිළ ප්‍රජාවට සදාචාරාත්මක අයිතියක් ඇති බවයි. සර්වේස්වරන් සම්බන්ධව සිදුවූ ආකාරයේ මෙවැනි සිදුවීමක් නැවත නොවෙන්නට නම්, ශ්‍රී ලංකා ජාතික කොඩියට මෙන්ම ශ්‍රී ලංකාවටද අනෙක් ප්‍රජාවන්ද වඩාත් ඇතුළත් විය යුතු බවද දමිළ දේශපාලන මත දක්වන්නන් නිරීක්ෂණය කර තිබිනි.

කෙසේ වුවත් දමිළ පුවත්පත් තුළ සරවනන් නිරීක්ෂණය කොට දෝෂාරෝපණය කිරීම්ද දක්නට ලැබිණි. මුලින්ම තිනකුරල් ලියුම්කරුවකු විසින් විවේචනයන් එල්ල කොට සිටියේ, ඇමතිවරයා විසින් උතුරේ සිංහල සිසුන් දුරස් කොට සැලකීම සම්බන්ධයෙනි. ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම අසංවේදී ක්‍රියාවක් ලෙසින් ලේබල්ගත කරමින් ලියුම්කරු විසින් තව දුරටත් නිරීක්ෂණය කොට තිබුණේ, ඇමතිවරයා විසින් අනවශ්‍ය ලෙසින් ප්‍රතිගාමී සිංහල ජාතිකවාදී කොටස් අවුස්සා ඇති බවයි. දෙවනුව, දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් විසින් පෙන්වා දී තිබුණේ ජාතික කොඩිය එසවීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීම මගින් සර්වේස්වරන් රාජ්‍ය නිලධාරියකු ලෙසට ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ඔහුගේ රාජකාරිය ඉ‍ටු  කිරීමට අසමර්ථ වී ඇති බවයි.  උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, වීරකේසරී කතුවැකිය මගින් ප්‍රකාශ කොට තිබුණේ සැක නැතිවම කාරණය ඉහත කී පරිදි වන බවයි. තුන්වනුව, අනෙකුන් විසින් සර්වේස්වරන්ගේ ක්‍රියාව දැක තිබුණේ, විශේෂයෙන්ම ඉදිරියේදී පැමිණෙන පළාත් සභා මැතිවරණයන්හිදී සරවනන්ගේ පක්ෂය වන ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව තරග කරන්නේය යන කරුණ දෙසද ඇස ගසාගෙන සිදුකරන්නට යෙදුණු  තේරුමක් නැති දේශපාලන රඟපෑමක් ලෙසයි.

“ප්‍රචණ්ඩත්වය නැවත පැමිණ ඇත” කාටූනය:  වීරකේසරී -2019 නොවැම්බර් 23

ගිංතොට ප්‍රචණ්ඩ ක්‍රියා

ගිංතොට ප්‍රදේශයම ඇළලී ගිය වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී සිංහල සහ දමිළ පුවත් වාර්තාකරණයන්, කාරණා තුනක් මගින් එකිනෙකාගෙන් වෙනස් වී තිබිණි.

පළමුව, වැඩි වශයෙන්ම හානි සිදුවූ නොවැම්බර් 18 දින සවස සිදුවීම්, සිංහල පුවත්පත් මගින් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර වූ ඝට්ටනයක් ලෙසින් දක්වා තිබුණද, දමිළ පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම බැර කර තිබුණේ සංවිධානාත්මක සිංහල කලහකාරී පිරිස් වෙතටයි. එසේම මෙම කලහකාරී කොටස් මෙම සිදුවීම කරා හැසිරවීම කෙරෙහි, එම පළාතේ බෞද්ධ භික්ෂූන් විසින්ද විශේෂ භූමිකාවක් දක්වා ඇති බවටද එකඟතාවයක් විණි.

දෙවෙනුව, සිංහල පුවත්පත් මගින් සිදුවූ අලාභ හානි සංඛ්‍යාත්මකව ගෙන හැර දක්වා තිබුණත්, එම අලාභයන්ගෙන් පීඩා විඳ තිබුණේ කවුරුන්ද යන්න හඳුනාගෙන නොතිබුණි. මීට වෙනස් ලෙසින් මෙම සිදුවීම වාර්තා කළ දමිළ පුවත්පත් මගින් හඳුනාගෙන තිබුණේ මෙම කලහකාරී ජනතාව විසින් පල්ලි දෙකකට මෙන්ම මුස්ලිම්වරුන්ට අයත් ව්‍යාපාරික ස්ථාන 26 කට, නිවාස 66 කට සහ මෝටර් රථ ගණනාවකට හානි පමුණුවා තිබූ බවයි. අහම්බයකින් මෙන් සිංහල පුවත්පත් වාර්තාකරණය තුළ මුස්ලිම් පල්ලි දෙකකට හානි සිදුවී තිබීම වාර්තා වී නොතිබුණි.

තුන්වනුව, සිංහල පුවත්පත් මෙන් දමිළ පුවත්පත් මගින් මෙම සිදුවීම තනි සිදුවීමක් ලෙසින් දැක නොතිබුණි. ඒ වෙනුවට වීරකේසරී කතුවැකිය මගින් ගිංතොට සිදුවීම ස්ථානගත කොට තිබුණේ, මෑතකදී නැග ආ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ල තුළයි. මෙම කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ, පූජ්‍ය ඥාණසාර හිමි වැනි වෛරී අදහස් වපුරන්නවුන්ට විරුද්ධව කටයුතු කිරීමට අසමත් වෙමින්, රජය මෙම නැගී එන බෞද්ධ අන්තවාදී ‍රැල්ල මැඩ පැවැත්වීමට අපොහොසත්ව වී ඇති බවයි. “ගිංතොට: නැවත වතාවක් වූ සිදුවීමක්” යන සිරස්තලය සහිත මත දැක්වීමේ ලිපියකින් ගිංතොට සහ අලුත්ගම සිදුවූ කෝලාහලයන් සංසන්දනය කොට තිබූ අතර, එහිදී දක්වා තිබූ මතය වූයේ ආණ්ඩු වෙනස් වූවත් සුළුතරයන්ගේ ඉරණම නොවෙනස්ව ඇති බවටයි.

සිංහල සහ දමිළ පුවත්පත් වල වාර්තාකරණයන් එකඟ වී තිබූ එකම ස්ථානය වූයේ පොලිසියේ හැසිරීම ප්‍රශ්න කිරීම පමණි. පුවත්පත් දෙකොටසම මගින් පොලිසියට විවේචනයන් එල්ල කොට තිබුණේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට අසමර්ථ වීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාව, විශ්ව කාලාන්තර සමාලෝචනයේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනය යටතට පසුගිය සතියේ ශ්‍රී ලංකාව පැමිණ තිබිණි. කෙසේ වුවත් මෙම කාලය තුළදී දින කීපයක් පුරාවට රට පුරා ඇතිව තිබූ පැට්‍රෝල් අර්බුදය සහ 2018 වසර සඳහා රජයේ අය වැය යන කරුණු පුවත්පත් තුළ ප්‍රධාන තැන් ගෙන තිබූ අතර, ඒ නිසාවෙන්ම සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද විශ්ව කාලාන්තර සමාලෝචනයේ වූ සිදුවීම් වාර්තා වී තිබුණේ යන්තමිනි.

එය එසේ වුවත් සිංහල පුවත්පත් හා සසඳන විට දමිළ පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව වාර්තා කර තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, සතිය පුරාවටම වීරකේසරී මගින් මෙහි සිදුවීම් පිළිබඳව මුල් පි‍ටු තුළම අඩු තරමින් එක් ප්‍රවෘත්ති නිවේදනයක් හෝ ඉදිරිපත් කර තිබූ අතර, ඉන් කිහිපයක්ම ප්‍රධාන සිරස්තල ප්‍රවෘත්ති වූ බවද දක්නට ලැබිනි. මෙම ප්‍රවෘත්ති බුලටීන හරහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වූ රටවල් මගින් ශ්‍රී ලංකාව වෙත කර තිබූ නිර්දේශ සමීපව නිරීක්ෂණය කොට තිබිනි. විශේෂයෙන්ම සඳහන් කරන්නේ නම්, බටහිර බලවේග මගින් කළ දායකත්වය මෙහිදී කීර්තිය දිනාගෙන තිබූ අතර, 2016 සැප්තැම්බර් මස 30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කළ යුතු බවට ඔවුන් විසින් කර තිබූ අවධාරණය නැවත නැවතත් දක්නට ලැබෙනා තේමාවක් වී තිබිණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, සිංහල පුවත්පත් මගින් නිරීක්ෂණය කර තිබුණේ, නිර්දේශයන් 230 කින් ශ්‍රී ලංකාව 177 ක් පිළිගෙන තිබූ බව පමණි.

මෙහිදී එකඟ විය යුතු සහ විවේචනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් සිංහල පුවත්පත් සහ දමිළ පුවත්පත් සිටියේ අන්ත දෙකක බවද දක්නට ලැබිණි. දිවයින සහ රිවිර පුවත්පත් මගින් පොදුවේ හර්ෂ ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස චිත්‍රණය කර තිබුණේ සෘණාත්මක දෘෂ්ටි කෝණයකින් වූ අතර, ඉහත කී නිර්දේශ පිළිගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දූත පිරිසට විවේචන එල්ල කොට තිබිණි. දමිළ පුවත්පත්ද මේ සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් දරා තිබුණත්, ඒ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙසට විණි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් තිනකුරල් හි වූ එක් ලිපියක් මෙම ගැටළුව සම්බන්ධයෙන් කතා කර තිබූ අතර එම ලිපියේ මෙයට හේතුව ලෙසින් දැක්වී තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව භිමිකම් කවුන්සිලයේ වූ රටවල් ශ්‍රී ලංකා රජය කෙරෙහි දක්වන අධිකතර සහ කිසිසේත්ම ශ්‍රී ලංකා රජය ලැබීමට සුදුසුකම් ලබා නොසිටින අභිනන්දනයයි.

තවමත් දෙන වධබන්ධන 

ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) මගින් විශ්ව කාලාන්තර සමාලෝචනයට පෙරාතුව ප්‍රධාන පුවතක් ලෙසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මගින් තවමත් වද හිංසා පැමිණවීම්  සිදුකරන බවට විස්තරාත්මකව දැක්වෙන පුවත ලෝ පුරා මාධ්‍ය අවධානය දිනාගත් අතර, සමාලෝචනයේ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට බඳුන් වූ කරුණක් බවට වද හිංසා පැමිණවීම් පත්විනි. එහිදී වූ බොහෝ නිර්දේශයන්ට හරය වූයේද එම කරුණයි. වීරකේසරී මත දැක්වීමේ ලිපියක් මගින්, සමාලෝචන සැසිය තුළ වද හිංසා සම්බන්ධයෙන් මෙම වුවමනාවට වඩා දැක්වූ අවධානය විවේචනයට ලක් කොට සිටි අතර, තව දුරටත් එම ලිපියෙන් නිරීක්ෂණය කර තිබුණේ මේ මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගී තිබූ වඩාත් බරපතළ ලෙස සිදුවූවා යැයි කියන යුද අපරාධ වසං කෙරුණු බවටයි. මේ අතරවාරයේදී සිංහල පුවත්පත් මගින්, වද හිංසා පිළිබඳව ඇසෝසියේටඩ් ප්‍රෙස් මගින් ප්‍රකාශ කළ මෙම වාර්තාව සම්බන්ධයෙන් කථා කර නොතිබුණු තරමි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top