කෝටි ගණනක කිතු සිතුවමක් අබුඩාබි කටුගෙයකට 

 

ලෝක ප්‍රකට කලාකරු ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළේ යැයි සැලකෙන ක්‍රිස්තුස් වහන්සේගේ රුව පිළිබිඹු කෙරෙන වසර 500 ක් ඉපැරණි සිතුවමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලුව්ර අබුඩාබි කෞතුකාගාරය වෙතට ගෙන එමින් තිබෙන බව එම කෞතුකාගාරය පවසයි.

පසුගිය නොවැම්බරයේදී වෙන්දේසි කළ “සැල්වේටර් මුන්ඩි ” (ලෝකයේ විමුක්තිදායකයානෝ) නම් මෙම චිත්‍ර නිර්මාණය මිලදී ගත් බවට නිශ්චිත සඳහනක් නොකරම, ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් 6 බදාදා ඔවුන් මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ සිතුවම බාදර් බින් අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ෆර්හාන් අල් සවද් නම් සෞදි කුමාරයකු විසින් මිලදී ගෙන ඇති බවයි.

1505 ගණන් වලට පසුව නිර්මාණය කළ බවට විශ්වාස කෙරෙන “සැල්වේටර් මුන්ඩි” ඩොලර් මිලියන 450 ක වාර්තාගත මිලකට නිව්යෝක් නුවරදී අලෙවි විය.

එය මෙතෙක් කලා කෘතියකට හිමි වූ ඉහලම වෙන්දේසි අගය ලෙස සැලකේ.

මිනිත්තු 20 ක පමණ කාලයක් පැවැත්වුණු ලන්සු කැඳවීම සඳහා නාඳුනන ගැණුම්කරු සම්බන්ධ වුයේ දුරකතනය මගිනි.

ලුව්ර අබුඩාබි

අබුඩාබි හි පිහිටි ලුව්ර කෞතුකාගාරය විවෘත කරන ලද්දේ පසුගිය නොවැම්බර් මසදීය.

එය ඉදිකිරිම සඳහා පවුම් බිලියන 1 ක මුදලක් වැය වී ඇත.

කෞතුකාගාරය සතුව කලාකෘති 600 ක් ඇති අතර තවත්  300 ක ප්‍රමාණයක් ප්‍රංශයෙන් තාවකාලිකව ලබා ගෙන තිබේ.

කලා නිර්මාණ සඳහා මෙන්ම ලුව්ර නාමය යොදා ගැනීම සහ කළමනාකරණ උපදේශන සඳහා ද අබුඩාබි කෞතුකාගාරය විසින් ඩොලර් මිලියන සිය ගණනක් පැරිසියට ගෙවනු ලැබේ.

Related posts

Comments are closed.

Top