දේශපාලකයන් සහ මාධ්‍යවේදීන් පිරිහීම අතින් “එකම බෝට්ටුවේ” | VIDEO

ජනතාව අතර විශ්වාසය පිරිහී යාම සම්බන්ධයෙන් දේශපාලකයා මෙන්ම ජනමාධ්‍යවේදියාද එක සමාන තරමේ පහත් අඩියකට වැටී ඉන්නා බව රජයේ ආයතනයක් තුල දිවයිනේ ප්‍රමුඛ මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් මෙහෙයවූ රැස්වීම් සභාවකදී පවසා තිබේ.

දේශපාලකයන් කෙරේ ජනතාව තුල පවත්නා විශ්වාසය ගීලිහී ගොස් ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පිළිගනු ලැබුවේ ශ්‍රී ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ  සංවිධායකත්වයෙන්  “මාධ්‍යයේ දේශපාලනය” නම් දේශනය පවත්වමිනි.

වෘත්තිකයන් විසින් ජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටින ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකා එක්සත් ජනපදයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූ තොරතුරු උපුටා දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නේ” කියාය.

“ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළගට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය,” යි කී අමාත්‍ය සමරවීර ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඉතා පහත් අඩියකට වැටී සිටින බව පිළිගත්තේය.

“ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නේ.”

කෙසේවෙතත්, දේශපාලකයන්ගේ තත්වයටම මාධ්‍යවේදීන්ද පහත වැටීම ගැන සොයා බැලිය යුතු බව මංගල සමරවීර කියා සිටියේය.

“දේශපාලකයන් කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුණත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක්” බවට අනතුරු අඟවා සිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙපිරිස “කරට අතදාගෙන” සිටියොත් වෘත්තීන් දෙකම අනතුරේ වැටෙන බවට අනතුරු ඇඟවුයේය.

“දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ.”

ජාතිවාදයට “හෙඩ් ලයින්”

කෙසේවෙතත්, ජනාධිපතිවරයා සමග මෑත කාලයේ ගැටුමට යාම නිසා ලංකා ඊනිව්ස් වෙබ් අඩවියට රට තුල තහංචි පැනවීම සම්බන්ධයෙන් රජය සතු වගකීම ගැන කතා කිරීම මග හළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, තමන් “ප්‍රොක්සි” අඩවි ඔස්සේ තහනම් අඩවියට පිවිසෙන බව දැනුම් දෙමින් කියා සිටියේ “ අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ,” යනුවෙනි.

ජනමාධ්‍යවේදීන් කෙරේ ජනතා විශ්වාසය පිරිහී යාම ගැන වෘත්තීය යුතුකම නොතකා කටයුතු කරන මාධ්‍යවේදීන්ම වගකිව යුතු බව පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සංවාදයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මර්දනය දරුණු තත්වයක පවත්වාගෙන යාමට වගකිව යුතු පාලකයන් නැවත බලයට ගෙන ඒම සඳහා “දිවා රෑ වැඩ කරන” රටේ ප්‍රධාන පෙලේ සිංහල පුවත්පත් කතුවරුන් අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණේ ජාතිවාදයට උඩ ගෙඩි දීම සඳහා “බෝල අකුරින් හෙඩ් ලයින්” දමන්නන් ලෙසිනි.

රජය “අඩුපාඩු සහිතව හෝ” පෙරට යද්දී ප්‍රතිගාමී බලවේග නගා සිටුවීමේ “පෙර ගමන් කරුවන්” ලෙසින්ද ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

තමන්ට පහර දෙන අයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙස රජයේ මාධ්‍ය වලට උපදෙස් දී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලකයන් සහ මාධ්‍යවේදීන් කෙරේ නැවත ජනතා විශ්වාසය ඇතිකරගැනීම සඳහා පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top