ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස විග්නේස්වරන් දෙමළ සන්ධානයෙන් ඉල්ලයි | VIDEO

 

පළාත් පාලන ඡන්දය හමුවේ ඉරිතලා ගොස් ඇති දෙමළ ජාතික සන්ධානය එක්සත් වී ඉදිරියට යාමට නම් තමන් නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගත යුතු බව උතුරේ මහ ඇමැති වරයා ඉල්ලා සිටී.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් සංවිධානය ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන බව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

සන්ධානයේ ප්‍රකාශක ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ආසන බෙදීම සම්බන්ධයෙන් යාපනයේ පැවති සාකච්ඡා වල ප්‍රගතියක් ඇති නොවූ නිසා නැවතත් ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයාත්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සමගත් නැවත කොළඹදී සාකච්ඡා පවත්වන බවයි.

උතුරේ මහ ඇමති සී වී විග්නේස්වරන් ප්‍රකාශ කරන්නේ එක්සත් කම සඳහා  සන්ධාන නායකත්වය ප්‍රතිපත්තිමය වෙනසක් ඇතිකරගත යුතු බවයි.

“දෙමළ ජනතාවගේ ආරක්ෂාව සහ සංවර්ධනය ගැන කල්පනා කර” ඒ වෙනස ඇති කරගැනීමෙන් පෙරට යා හැකි බවට ඔහු යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ප්‍රතිපත්තිමය කාරණා වලට වඩා ආත්මාර්ථය මෙම බෙදීමට වඩාත් බලපා ඇති බව ප්‍රකාශ කළ මහ ඇමතිවරයා ඒ මොනවාදැයි සොයාබැලීමේ වගකීම පැවරුවේ මාධ්‍යවේදීන්ටය.

Related posts

Comments are closed.

Top