පක්ෂ තුනක් එක්වී ඡන්දයේ ප්‍රශ්න විසඳා ගත්තා: TNA

බේදවී සිටි දෙමළ ජාතික සන්ධානය මෙතෙක් සැදී තිබූ පක්ෂ හතරින් තුනක් එක්වී ළඟ එන ඡන්දය සඳහා තරග වදින්නට තීරණය කර තිබේ.

යෝජිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් 9 සෙනසුරාදා කොළඹ පැවති සාකච්ඡාවකදී “සියලු ගැටළු නිරාකරණය කරගත්” බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK),  ටෙලෝ සහ ප්ලොට් නායකත්වය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේ සාකච්ඡා වලට සහභාගි නොවූ කලින් හවුල්කාර පක්ෂයක් වූ ඊපීආර්එල්එෆ්  සංවිධානය මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් (TNA) ඉවත් වී සිටී.

මතුවී තිබුනු බේද සම්බන්ධයෙන් TNA ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා  මීට ඉහතදී ප්‍රකාශ කොට තිබුනේ මැතිවරණයේ ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා පැවති බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉලංගෙයි තමිල් අරසු කච්චියේ ‘නිවස’ ලකුණින් දෙමළ ජාතික සන්ධානය ලෙසින් තරග වදින බව මාවෙයි සේනාධිරාජා (ITAK), සෙල්වම් අඩෙයික්කලනාදන් (TELO) සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් (PLOTE) පක්ෂ නායකයන් විසින් සෙනසුරාදා TNA ලිපි ශීර්ෂයකින් මාධ්‍ය වෙත එවන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රමුඛ EPRLF සංවිධානය විසින් දැනුම් දී ඇත්තේ වී ආනන්දසංගරී ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් පෙරමුණ (TULF) හා එක්වී දෙමළ විමුක්ති සන්ධානය (TLA) ලෙසින් තවත් පක්ෂ හා එක්වී ‘සූර්යයා’ ලකුණින් තරග වදින බවයි.

වෙන්වීම් සහ එක්වීම් ආත්මාර්ථය මත පදනම් වූවක් බව උතුරේ මහ ඇමැති සීවී විග්නේස්වරන් පවසා තිබුනි.

තම ඉල්ලීම් ඉටු කර දෙන බවට මැතිවරණ පොරොන්දු දී ආසන දිනාගත් කිසිදු දේශපාලන පක්ෂයකට ඉදිරි මැතිවරණයේදී ඡන්දය නොදෙන බව අතුරුදහන්වුවන්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

Comments are closed.

Top