හිදැස: ගෝඨාභය නඩුව, දෙමළ මහවිරු සැමරුම හා පළාත් පාලන මැතිවරණය

මෙම සතියේ සිංහල සහ දමිළ පුවත්පත් තුළ පුවත් කිහිපයක්ම අතිපිහිත වී තිබෙනු දක්නට ලැබිණි. පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නියත තීරණයක් තවදුරටත් කල් දමන්නට හේතු වූ අතුරු තහනම් නියෝගය, සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. මේ හා සමානවම උතුරේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සහ මාවීරර් නාල් සැමරුම්ද සිංහල දමිළ භේදයකින් තොරව පුවත්පත් තුළ ආකර්ෂණය දිනාගෙන තිබූ ප්‍රවෘත්ති විනි.

රජයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව දමිළ පුවත්පත් වලට වඩා සිංහල පුවත්පත් වඩාත් විස්තීර්ණව ආවරණය කර තිබුණු බව දක්නට ලැබිණි. කෙසේ වුවත් රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම රජයට පහරක් වනු ඇතැයිද, රජය අස්ථාවර කරන්නට හේතු වනු ඇතැයිද යනුවෙන් වන දෘෂ්ටියක් සිංහල පුවත්පත් තුළ විශාල වශයෙන් දක්නට ලැබුණද, වීරකේසරී පුවත්පතේ වූ ලිපියකින් තර්ක කොට තිබුණේ, සැබවින්ම රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වැනි පියවරක් නිසා රජය ශක්තිමත් වනු ඇතැයි යනුවෙනි.

කාටූනය: වීරකේසරී

මහවිරුවන් සහ ත්‍රස්තවාදීන්

දමිළ පුවත්පත් සහ සිංහල පුවත්පත් මගින් මහවිරු දින (යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් අනුස්මරණය කරනා දිනය) සැමරුම් පිළිබඳව එකිනෙකාට ප්‍රතිවිරුද්ධ වූ ස්වරයන්ගෙන් වාර්තා, විශ්ලේෂණ ඉදිරිපත් කොට තිබිනි.

මෙම වාර්තාකරණයන්ගෙන් මතුවූ අදහස් තුළ හිදැස් තිබූ බව නිරීක්ෂණය කරන්නට හැකි විණි. දමිළ පුවත්පත් මගින් මෙය වාර්තා කිරීමේදී අනුස්මරණය සහ සිහිපත් කිරීම වැනි වචන යොදාගෙන තිබූ අතර, සිංහල පුවත්පත් මගින් සැමරීමක් වැනි අදහසක් ගෙන දෙන ලෙසින් උතුරේ මෙම දිනයේ සිදුවීම් විස්තර කර තිබිණි. දමිළ පුවත්පත් මගින් මෙම එල්ටීටීඊ සාමාජිකයන් හඳුන්වා දී තිබුණේ නිදහස වෙනුවෙන් සටන් වැදුණවුන් ලෙසින් හා ආත්ම පරිත්‍යාගීන් ලෙසින් වූවත්, සිංහල පුවත්පත් තුළ විශාල වශයෙන් ඔවුන්ව හඳුන්වා දී තිබුණේ ත්‍රස්තවාදීන් ලෙසිනි. තවදුරටත් සිංහල පුවත්පත් මගින් පුද්ගලික සහ දේශපාලනික යන සන්දර්භ දෙක අතර වෙනස වෙන්ව දැක්වීමට -වෙනත් වචන වලින් පවසන්නේ නම් තනි තනිව මෙම දිනය අනුස්මරණය කිරීම සහ සමූහයක් ලෙසින් අනුස්මරණය සඳහා සහභාගි වීම යන දෙක අතර වෙනස පෙන්වා දී තිබුණද, දමිළ පුවත්පත් මගින් එවැනි වෙනස්කමක් දක්වා නොතිබුණි. දමිළ පුවත්පත් තුළ මත දක්වන්නන් විසින් මාවීරර් නාල් මගින් ගම්‍යමාන කරනා පුද්ගලික අහිමි වීම් මෙන්ම දේශපාලන අර්ථයන්ද එකම සන්දර්භයක නිරන්තරයෙන් දක්වන්නට යෙදිනි.


මෙම දිනයේ සිදුවීම් වලට පෙර රජය මෙන් වත්මන් රජය බාධාවන් එල්ල නොකළ බව දමිළ පුවත්පත් මගින් පිළිගෙන තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් වීරකේසරී කතුවැකියක් මගින් නිරීක්ෂණය කර තිබුණේ, මෙම දිනයේ පොදු අනුස්මරණ පැවැත්වෙන බව රජය විසින් කලින් දැන සිටියද, ඒ සඳහා වූ විධිවිධානයන් අවහිර කිරීමට කටයුතු නොකළ බවයි. දමිළ පුවත්පත් වල වූ බොහෝ ලිපි මගින්, යුද්ධයෙන් පසුව පැමිණි වසරවලදී මාවීරර් නාල් අනුස්මරණ නතර කරමින් පැවති මර්දනකාරී වාතාවරණය සහ මෙම වසරේ ලැබී තිබෙනා නිදහස අතර වෙනස විශේෂයෙන්ම දක්වන්නට යෙදිණි. මෙයට වෙනස් ලෙසකින් සිංහල පුවත්පත් මගින් රජයට විවේචන එල්ල කරන්නට යෙදුණේ ‘ත්‍රස්තවාදී සැමරුම්’ පැවැත්වීමට ඉඩ දීම සම්බන්ධයෙනි!

දමිළ පුවත්පත් මත දැක්වීම් තුළ පමණක් සුවිශේෂයෙන් දක්නට ලැබුනු එක් ප්‍රශ්නයක් වූයේ, මහවිරු දින අනුස්මරණ සඳහා සහභාගි වීමේ නියමාකාර අයිතිය ඇත්තේ කාටද යන්නයි. දමිළ පුවත්පත් තුළ වූ අන්තවාදී කොටස් මගින් බලවත්ව කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් මහවිරු දින අංග වලට සහභාගි නොවිය යුතු බවටයි. තිනකුරල් තීරු ලිපි කරුවකු විසින් කියා සිටි ආකාරයට, අතුරු වාර්තාවේ කෙ‍ටුම්පත් කොට ඇති දේශපාලන විසඳුමට සහාය දක්වන්නවුන් මෙම ආත්ම පරිත්‍යාගීන්ගේ කැපකිරීමට ද්‍රෝහී වී ඇත.

වාලම්පුරි කතුවැකිය මහවිරු දිනය පිළිබඳව කාව්‍යාත්මකව සඳහන් කරමින්, තමන්ගේ ස්ථාවර සහ නොවැදගත් ඇජෙන්ඩාවන් වෙනුවෙන් නිදහස් අරගලය වළලා දැමූ ඒ නායකයන්ට කෙදිනක හෝ සමාව නොදෙන ලෙසින් මියගිය සොල්දාදුවන්ගෙන් ඉල්ලා තිබිනි. ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් මීට අමතරව ඉලංකෛ තමිල් අරසු කච්චි නායකයන් වෙත චෝදනා එල්ල කොට තිබුණේ, එල්ටීටීඊය අවසාන කර දැමීමට රජය සමග කුමන්ත්‍රණ කළ බවට වූ අතර, මෙම මහවිරු දින අනුස්මරණ සඳහා අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් හවුල් වීමද හෙළා දැක තිබිනි.

මෙසේ මෙම වසරේ මහවිරු අනුස්මරණ වටා වූ දමිළ පුවත්පත් සාකච්ඡා දෙස බැලූ විට පෙනී යන්නේ, සිංහල පුවත්පත් මගින් මෙයට ලබාදුන් නිර්වචනය අනුව එය එල්ටීටීඊයට නැවත පණ දෙන ලෙසින් ඉල්ලීම් කළ අවස්ථාවක් නොව, වර්තමානයේ වූ දේශපාලන ස්ථාවර මත පදනම් වූ විවාදයක් බවට සියුම්ව රූපාන්තරණය වී ඇති බවයි.

පළාත් සභා මැතිවරණ

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වීම් සම්බන්ධයෙන් දමිළ හා සිංහල පුවත්පත් තුළ වූ මත දැක්වීම් තුළින් සමාන හැඟීම් ප්‍රකාශ වී තිබූ බව දක්නට ලැබිනි.

සිංහල පුවත්පත් මෙන්ම දමිළ පුවත්පත් මගින්ද මෙම ප්‍රමාද මූලිකවම බැර කරන්නට යෙදුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතට වූ බව දක්නට ලැබිණි. ජනපති සිරිසේන වෙත විවේචනයන් එල්ල වූයේ ‘යහපාලනයට’ නොව පුද්ගලික අභිලාශයන්ට සහ පක්ෂයට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙනි. තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැතිවරණයන් කෙතරම් ඉහළ වැදගත්කමක් සහිත භූමිකාවක් කරන්නේද යන්න සම්බන්ධයෙන් දමිළ පුවත්පත් විශ්ලේෂණ මගින් අවධාරණය කර තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ඕනෑ කමින්ම මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම වීරකේසරී කතුවැකිය මගින් දැක තිබුණේ ‘ප්‍රජාතන්ත්‍රවාදය වළලා දැමීමක්’ ලෙසිනි. උදයන් කතුවැකිය මගින් මැතිවරණ කොමිසමට සතුට ප්‍රකාශ කොට තිබුණේ, ගැටළුකාරී වන පළාත් සභාවන් සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තෙක් බලා නොසිට, නෛතික අවහිරතාවයන්ට මුහුණ නොපාන පළාත් සභා 93 ක් සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙනි.

Related posts

Comments are closed.

Top