ලංකාවේ අවුරුද්දකට අලුතින් පිළිකා රෝගීන් විසි දහසක්

 

ශ්‍රී ලංකාවේ වසරක් තුළ පිළිකා රෝගීන් විසි දහසක් පමණ අලුතින් වාර්තා වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවසයි.

දිවයිනේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය පසුගියදා කොළඹ දී පැවැති අතර ඒ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන අතර  පිළිකා රෝගීන් පිළිබඳව නිවාස මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීම ද අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

පිළිකා රෝග තුරන් කිරීම සඳහා ආසියානු රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න එහිදී අවධාරණය කර ඇත.

පුරුෂ පක්ෂය මුඛ, පෙණහළු, ගලනාල පිළිකා වලට මුහුණ දී සිටින අතර කාන්තාවන් පියයුරු, ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකා වලට ගොදුරුව සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

Comments are closed.

Top