ලිබියා සරණාගතයන් අපයෝජනයට “යුරෝපා රටවල් හවුල්” 

 

ලිබියානු ආගමන විගමන බලධාරීන් විසින් එරට තුල රඳවාගෙන සිටින දස දහස් ගණන් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් වද හිංසාවට මෙන්ම අපයෝජනයට ලක් කිරීම සඳහා යුරෝපා ආණ්ඩු දැන දැනම හවුල් වී ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා එල්ල කරයි.

සංක්‍රමණිකයන් මධ්‍යධරණී මුහුද තරණය කිරීම වැළක්වීමේ උත්සාහයක නිරත වෙමින් “අපචාර සහ සූරා කෑමේ ක්‍රියා පද්ධතියකට ”යුරෝපා සංගමය සක්‍රිය දායකත්වයක් ලබා දෙන බව ඇම්නස්ටි සංවිධානය 12 අඟහරුවාදා නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

යුරෝපා සංගම් අරමුදල මිනිස් ජාවාරම්කරුවන් සහ සන්නද්ධ කණ්ඩායම්වලට උදව් කරන බව වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

ඔවුන් විසින් ලිබියානු වෙරළාරක්ෂක බළකායට නෞකා, පුහුණුව, උපකරණ, තාක්ෂණික සහාය සහ අරමුදල් සපයා දී ඇත.

යුරෝපය වෙත සංක්‍රමණය වීමට ඇති ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙසින් ලිබියාව සැලකෙන අතර ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීම නිසා සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් බරපතල පීඩාවට මෙන්ම ජීවිත අවදානමට ලක් වී සිටිති.

යුරෝපා සංගමය ලිබියාවට සම්පත් ලබාදීම සමග සංක්‍රමණිකයන් යාත්‍රා මගින් ඉතාලියට පැම්ණීම විශාල ලෙස පහත වැටී තිබේ.

සංක්‍රමණිකයන්  ලක්ෂ හතක්

සංක්‍රමණිකයන් 700,000 ක් පමණ ලිබියාවේ වෙසෙන බවට ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

අපයෝජන සිදුවීම් සමුදායකට සම්බන්ධකම් දක්වන අපරාධ කල්ලි සහ මිනිස් ජාවාරම්කරුවන් සමඟ ලිබියානු වෙරළාරක්ෂක බලකාය එක්ව කටයුතු කරන්නේ යැයි ඇම්නස්ටි සංවිධානය අවධාරණය කරයි.

 

 

එරට වෙරළාරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරණාගතයන් සහ සංක්‍රමණිකයන් නීති විරෝධී සංක්‍රමණවලට එරෙහි ලිබියා පොදු අධ්‍යක්ෂ මණ්ඩලය(DCIM) විසින් පාලනය කරනු ලබන රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබේ.

රැඳවියන් විසිදාහක්

මේ වනවිට රැඳවියන් 20,000 ක් පමණ එහි සිටින බවත් ඔවුන් බලධාරීන් සහ ජාවාරම්කරුවන් අතින් වද හිංසාවට, බලහත්කාරයෙන් සේවයේ යෙදවීමට, කප්පම් ගැනීම්වලට සහ නීති විරෝධී අයුරින් ඝාතනය කිරීම් වලට ලක්ව ඇතැයි පෙන්නුම් කරන සාක්ෂි තමන් සතු බවත් ඇම්නස්ටි සංවිධානය පවසයි.

“අපයෝජන ක්‍රියාදාමයකට හසු කෙරෙන ඉඩ ඇහිරුණු රැඳවුම් මධ්‍යස්ථානවල දස දහස් ගණන් පුද්ගලයන් සිරකර තබනවා,”යැයි ඇම්නස්ටි යුරෝපා අධ්‍යක්ෂ ජෝන් ඩැල්හයිසන් ප්‍රකාශ කර ඇත.

“මේ අපයෝජන සම්බන්ධයෙන් යුරෝපා ආණ්ඩු සම්පුර්ණයෙන්ම දැනුවත් වී සිටිනවා පමණක් නොව, මුහුද තරණය කිරීම වළක්වමින් ලිබියාව තුල පුද්ගලයන් රඳවා ගැනීමට උපකාර කිරීම මඟින් ඔවුන් ලිබියා ආණ්ඩුවට සක්‍රිය දායකත්වයක් ලබා දී අපයෝජනයට හවුල් වී තිබේ.”

Related posts

Comments are closed.

Top