උතුරේ සිංහලකරණය වාර්තාකරන මාධ්‍යවේදීන්ට හමුදා අඩන්තේට්ටම්

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන සිංහලකරණය පිළිබඳව ගවේෂණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට පොලිසියෙන් සහ යුද හමුදාවෙන් හිරිහැර සිදුවන බව උතුරේ ජනමාධ්‍ය ක්‍රියාධාරීන්ගේ ප්‍රධානතම සංවිධානය ප්‍රකාශ කරයි.

යාපනය මාධ්‍ය සමාජය විසින් සඳුදා නිකුත් කරන ලද නිවේදනයකින් දැනුම් දී ඇති පරිදි එම ක්‍රියාදාමයේ අලුත්ම සිද්ධිය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාරම්පරික පදිංචිකාර දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවිතයට හමුදාකරණය බලපා ඇති ආකාරය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් අට දෙනකුගේ රාජකාරියට බාධා කළ පොලිස් හා හමුදා භටයන් පටිගත කරගත් දෑ පවා විනාශ කිරීමයි.

යාපනය සහ වොෂින්ටන් මුලස්ථානය කොටගත් සංවිධාන දෙකක් හවුලේ දෙමසකට ඉහතදී එළිදැක්වූ වාර්තාවකින් හෙළිකොට තිබූ පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වන සෑම සාමාන්‍ය වැසියන් දෙදෙනකුටම එක හමුදා භටයකු බැගින් සිටී.

එමෙන්ම, යුද්ධයෙන් පසු උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමේ වෑයමක රජය නිරතව සිටින බවට එම සංවිධාන මෙන්ම උතුරේ බහුජන සංවිධාන ගණනාවක්ම බිය පල කර තිබේ.

ඒ පිලිබඳ තොරතුරු එක්රැස් කිරීමට සෙනසුරාදා යාපනයේ සිට මුලතිව් බලා ගොස් සිටියදී රජයේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අඩන්තේට්ටමට ලක්වී ඇත්තේ කේ සෙල්වකුමාර්, එස් බාස්කරන්, ටී ප්‍රදීපන්, ටී විනෝජිත්, වී කජීපන්, එස් නිදර්ශන්, කේ හම්සනන් හා කේ සබේෂ් යන මාධ්‍යවේදීන්ය.

වීඩියෝ මකලා 

මාධ්‍යවේදීන් කණ්ඩායමේ ගමනට තන්නීර් මුරිප්පු ප්‍රදේශයේ මහමගදී බාධා කොට ඔවුන් රඳවා තබාගත් සිවිල් ඇඳුමින් යුත් හමුදා සහ පොලිස් සාමාජිකයන් පහළොවක පමණ කණ්ඩායමක් පටිගත කරගෙන තිබූ දර්ශන, සම්මුඛ සාකච්ඡා සහ ඡායාරූප මකා දමා තිබේ.

තමන් මාධ්‍යවේදීන් බව සනාථ කර සිටියත් පොලිස් හා හමුදා නිලධාරීන් කිසිදු හැඳුනුම් පතක් ඉදිරිපත් නොකළ බව එහි ගිය එක් මාධ්‍යවේදියකු ගගන හා පැවසීය.

ඔවුන්ගෙන් ඇතැමකු සිවිල් රාජකාරියේ යෙදී සිටියදී අඳින ආකාරයේ ටී ෂර්ට් හැඳ සිටිනු දැකගත හැකිය.

නැවතත් එහි නොඑන ලෙසට ආරක්ෂක අංශ සාමාජිකයන් තර්ජනය කළ බව මාධ්‍යවේදියා පැවසීය.

මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනය කළ ඇතැමකුගේ ඇඳුමට සමාන ටී ෂර්ට් හැඳ මුලතිව් හමුදා බීමහලක සේවය කරන සෙබළුන්

ඔහු ඇතුළු වෘත්තීය සගයන් පිරිස එම ප්‍රදේශයට ගොස් ඇත්තේ පාරම්පරිකව ධීවර රැකියාවේ නිරත වැවබද දෙමළ පවුල් සියයකට පමණ ජීවිකාව සලසන තන්නීර් මුරිප්පු වැවේ ධීවර කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කිරීම මුලතිව් දිසාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබියදී සිංහල ධීවරයන් යුද හමුදාවේ ආරක්ෂාව සහිතව මසුන් මැරීමේ යෙදී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබී තිබුනු තොරතුරු පිළිබඳව සොයාබැලීමටය.

යාපනයෙන් මුලතිව් ගිය මාධ්‍යවේදීන්ට ප්‍රදේශවාසීන් පවසා ඇති පරිදි වැවේ මසුන් මැරීමට සිංහල ධීවරයන් පැමිණෙන්නේ වැවට යාබද කැලෑවකින් එපිට වැලිඔය ප්‍රදේශයෙනි.

එය ප්‍රදේශයේ සිංහල හා දෙමළ දෙජනකොටස අතර ගැටුම්කාරී තත්වයක් අවුළුවන්නට හේතුවී ඇති බව කියා සිටින යාපනය මාධ්‍ය සමාජය පිට ප්‍රදේශවලින් සිංහලයන් ගෙනවිත් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කරවීමේ සැලසුමක් තිබෙන බවට සැක පහල කරයි.

සිංහලයන් පදිංචි කරවීම 

“සිංහලයන් ගෙනැවිත් දෙමළ පළාත්වල පදිංචි කරවීමේ වැඩපිළිවෙල හෙළිදරව් කරන්න හදන මාධ්‍යවේදීන්ට තර්ජනය කරළා සත්‍යය වසන් කරන්න හදනවා,” යි යාපනය මාධ්‍ය සමාජයේ කැඳවුම්කාර රත්නම් දයාබරන් ගගන හා දුරකතනයෙන් පැවසීය.

මාධ්‍යවේදීන්ට නිදහස ඇතැයි ලෝකයා හමුවේ ආණ්ඩුව කියා පෑවත් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දිගින් දිගටම තර්ජන හා අඩන්තේට්ටම් සිදුවන බව ඔහු කියා සිටියේය.

ඊට උදාහරණ ලෙස ඔහු විසින් පෙන්වා දෙනු ලැබුයේ ඉකුත් සති දෙක තුල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එස් මනෝහරන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් පොන්රාසා, කේ රවිශාන්ත් සහ එස් බාස්කරන් යන මාධ්‍යවේදීන්ට යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී තර්ජන වලට මුහුණ දෙන්නට සිදුවීමයි.

එමනිසා, උතුරේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ වැටී ඇති බවට ඔහු බිය පල කරයි.

“මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ මරා දැමුනු හෝ අතුරුදහන් කෙරුනු උතුරේ මාධ්‍යවේදීන් තිස් නමයෙන් එක්කෙනකුටවත් යුක්තිය ඉටු නොකළ මේ ආණ්ඩුවෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමදැ,” යි යාපනය මාධ්‍ය සමාජයේ කැඳවුම්කාර රත්නම් දයාබරන් විමසා සිටියේය.

Related posts

Comments are closed.

Top