හිදැස: පුංචි ඡන්දය, දෙමළ පක්ෂ බෙදීම, මාධ්‍ය නිදහස හා රනිල්

මෙම සතියේ සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද ප්‍රධානතම තේමාව බවට පත්ව තිබුණේ ලඟ එන පළාත් පාලන මැතිවරණ වේ. මෙහි අනුෂාංගික ප්‍රතිඵලයක් වූයේ, සැප්තැම්බර් මාසයේදී මෙහෙයුම් කමි‍ටුව මගින් අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමේ සිට සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළ ප්‍රධනතම මාතෘකාවක් වූ නව ව්‍යවස්ථාව පිළිබඳ වාර්තාකරණය සැලකිය යුතු පරිද්දෙන් පහත වැටීමයි.

2018 වසර සඳහා වූ අය වැය වාර්තාවේ තුන්වැනි වරට කියවීමද සිංහල පුවත්පත් තුළ ප්‍රධාන පුවතක්ව තිබුණත්, දමිළ පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් සඳහන් වූයේ යන්තමිනි. මේ සම්බන්ධව දමිළ පුවත්පත් තුළ විශේෂාංගයක් ලෙසින් වාර්තා වූ එකම කරුණ වූයේ බීර සඳහා බදු පහත දැමිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් දැක්වූ විරෝධයයි.

කාටුනය: වීරකේසරී

 

 අලුත් දෙමළ දේශපාලන හැඩගැසීම්

දෙමළ ජාතික සන්ධානය (TNA) නිර්මාණය වන්නේ 2001 වසරේ මහ මැතිවරණයට පෙරාතුව එකිනෙකට වෙනස් පක්ෂ හතරක් එක් වීමෙනි. මෙම පක්ෂ නම් වශයෙන් සඳහන් කරන්නේ නම්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF), ද්‍රවිඩ ඊළම් විමුක්ති සංවිධානය (TELO), ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) සහ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නැතිනම් වඩාත් ජනප්‍රියව දන්නා ලෙසට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) ලෙසින් හැඳින්විය හැක. කෙසේ හෝ 2004 මහ මැතිවරණයට පෙරාතුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බෙදී ගිය අතර, වී.ආනන්දසංගරීගේ නායකත්වයෙන් යුතු කොටසක් මෙම සන්ධානයෙන් ඉවත් විණි. එසේම සංධානය තුළ සිටීමට අදහස් කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු සාමාජිකයන් විසින් ඉලංකෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට පණදී මෙම සන්ධානගත පක්ෂයේ නායකත්වය ලබාගන්නා ලදී. එතැනින් පසුව ආ වසර කිහිපය තුළදී දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන වශයෙන් නැවත බෙදීම් දෙකකට මුහුණ දිනි. සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නැතිනම් සැවොම වඩාත් හොඳින් දන්නා පරිදි ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ 2010 දී සන්ධානය හැර යයි. එසේම 2013 උතුරු පළාත් සභා මැතිවරණයට සති කිහිපයක් තබා ප්ලොට් සංවිධානය (PLOTE) සන්ධානයට එකතු වෙයි.

මෙම වසරේ නොවැම්බර් මස මුලදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් නිවේදනය කරන්නට යෙදුණේ, තමන් නායකත්වය දරනා ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඉලංකෛ තමිල් අරසු කච්චි (ITAK) හා එක්ව තරග නොකරන බවත්, ඊට හේතුව තමන් හා ඔවුන් අතර නව ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුවේදී මූලික දේශපාලනික වෙනස්කම් තිබීම බවත්ය. මෙම කාලයේදී පුවත්පත් වාර්තා මගින් හැඟවුනේ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) යන පක්ෂ, උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව දෙමළ ජාතික සභාව (TPC) ලෙසින් තරග වදිනු ඇති බවයි. කෙසේ වුවත් දෙමළ ජාතික සභාව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට පටහැණිව විග්නේශ්වරන් දැඩි ස්ථාවරයක සිටි නිසා එය සිදු නොවුණි. ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) ට පොදු පක්ෂ නාමයක් හෝ පක්ෂ සංකේතයක් සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි වූ අතර, දෙපක්ෂයම අනික් පක්ෂයේ නම යටතේ තරග කිරීමට අකැමැති වුණි. එනිසා සන්ධානගත වීම පිළිබඳ නිල නිවේදනයෙන් දින විස්සකට පසුව, පක්ෂ දෙකම සිය සන්ධානය අවසාන බවට ඉඟි පළ කරන්නට යෙදිණි.

සතිය ආරම්භයේදී ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) මගින් නිවේදනය කරන්නට යෙදුණේ තමන් වී.ආනන්දසාගරීගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) සමගින් නව සන්ධානයකට යන බවයි. එතැනින් පසු පැමිණි දිනයන්හිදී දමිළ පුවත්පත් මගින් වාර්තා කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානය තුළ ඇති විශාලතම පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි සහ සන්ධානය සැදි අනෙකුත් පක්ෂයන්ට පළාත් සභා මැතිවරණයේදී ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට පැමිණීමට නොහැකිව සිටිනා බවයි. කෙසේ වුවත් ප්ලොට් හෝ ටෙලෝ සංවිධානය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) හා එකතු වනු ඇතිද යන්න එතරම් පැහැදිලි නොවූයේ, ඔවුන් සහ ඉලංකෛ තමිල් අරසු කච්චි අතර සිදුවෙමින් පවතින බේරුම් කරගැනීමක් සහ ගැටළු විසඳාගෙන ප්‍රතිසන්ධානයකට පැමිණීමේ හැකියාවක් පිළිබඳව පුවත්පත් දිගින් දිගටම ඉඟි කර සිටි නිසාවෙනි. අනෙක් අතට උදයන් කතුවැකිය මගින් මෙම පක්ෂ දෙමළ ජාතික සන්ධානය අත් හැර යන බවට කරනා හඬ ගෑම් ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ මෙය අපේක්ෂකයන් තේරීම, කොට්ඨාස වෙන් කර ගැනීම හා පක්ෂ ලැයිස්තු නාම යෝජනා යන කරුණු සම්බන්ධයෙන් වැඩි වාසිය ලබාගැනීම සඳහා වූ උපායක් පමණක් බවයි.

මෙම පසුතලයේදී, ඉලංකෛ තමිල් අරසු කච්චි දේශපාලනයට සහ පක්ෂයට ප්‍රබල විරුද්ධත්වයක් පළ කර සිටි අති බහුතරයකින් සැදි දමිළ දේශපාලන මත දක්වන්නන් විසින්, නව දේශපාලන හැඩහුරුකම් නිර්මාණය වීමේ සහ ඉලංකෛ තමිල් අරසු කච්චි ස්වාධීනව තරග වැදීමේ හැකියාව සිදුවිය හැකි බව තක්සේරු කර තිබිණි. දමිළ පුවත්පත් තුළ වූ ජාතිකවාදී කොටස් මගින් දිගින් දිගටම කියා සිටියේ, වර්තමාන ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නයන්ද ඇතුළුව මෙම රජය සමගින් මෙන්ම ජාතික ක්‍රියාපටිපාටීන් හා වන සම්බන්ධවීම් විෂයෙහි ඉලංකෛ තමිල් අරසු කච්චි දක්වන ‘සමාදාන ලැදි ස්ථාවරය’ දමිළ දේශපාලනික අභිලාශයන්ට අනතුරුදායක වන බවයි. තවදුරටත් ගත් විට, එක් එක් කාල වකවානු තුළ දෙමළ ජාතික සන්ධානය සැදි සියලුම සුළුතර පක්ෂයන් මගින් ඉලංකෛ තමිල් අරසු කච්චි වෙත චෝදනා එල්ල කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානය තුළ ඒකාධිපත්‍යයක් පවත්වා ගැනීම සම්බන්ධයෙනි.

දමිළ පුවත්පත් තුළ මූලිකත්වය දරා තිබූ හැඟීම වූයේ, ඉලංකෛ තමිල් අරසු කච්චි වෙත වූ ප්‍රතිපක්ෂයේ පැකිලීම නැතිනම් අසාර්ථකත්වය දැක ඇතිවූ අපේක්ෂා භංගත්වයයි. මෙයින් පෙන්නුම් කෙරුණේ, දමිළ පුවත්පත් මගින් ඉලංකෛ තමිල් අරසු කච්චි වෙනුවට විකල්පයක් ඉල්ලා සිටියද, කෙටි කාලයකින් කල් පවතින විකල්පයක් මතු වනු ඇතිදැයි මෙම මත දක්වන්නන් තුළ වූ සැක ශංකාවනුයි. ඉලංකෛ තමිල් අරසු කච්චි වෙත අභියෝග කළ හැකියැයි සිතූ හොඳම විකල්පය වූයේ, දේශපාලන පක්ෂයන්ගෙන්, වෘත්තිකයින්ගෙන් සහ සිවිල් සමාජ කණ්ඩායම්වලින් යන එකිනෙකට වෙනස් අංගයන්ගෙන් සැදුණු දෙමළ ජනතා සභාව, විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) යන පක්ෂයන්ගේ සංවිධාන ශක්තීන් උපයෝගී කරගනිමින් මැතිවරණයට තරග කළ හැකි බලවේගයක් බවට පෙ‍රැළීම වුවත්, පළාත් සභා මැතිවරණයට කල් ඇතිව එවැන්නක් සිදුවීම විය නොහැක්කක් බව පෙනී යයි. ‘නව සන්ධාන සහ දෙමළ ජාතික සභාවේ පිරිහීම’ යන සිරස්තලයෙන් යුතු තිනකුරල් ලිපියක් මගින් ඉස්මතු කොට දක්වා තිබුණේ, දෙමළ ජාතික සභාවේ එක් එක් කොටස් වල එකිනෙකා සමගින් ගැටෙනා අභිලාශයන් වන බව වූ අතර, දෙමළ ජාතික සභාවේ වෘත්තීයමය කාණ්ඩය ඒ වෙත දක්වන සීමාසහිත කැපවීම සම්බන්ධයෙන් විවේචනද එල්ල වී තිබිණි.

මෙසේ හෙයින්, දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන විපක්ෂය ලෙසින් දැන් පැන නැඟී ඇත්තේ ආනන්දසාගරී-ප්‍රේමචන්ද්‍රන් සන්ධානයයි. එනමුත් දමිළ දේශපානය තුළ ආනන්දසාගරී කළු චරිතයක් ලෙසින් තවමත් දැක්වෙන්නේ එල්ටීටීඊය සමගින් ඔහුගේ භේද වීමට පසුව වූ අතර, එතැන් සිට දමිළ දේශපාලන ගැටළු වලදී ඔහුගේ ස්ථාවරය විවේචනයට ලක්විණි. ඔහුගේ පක්ෂය වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යුද්ධයෙන් පසුව පැවැත්වුණු මැතිවරණයන් තුළදී අනුක්‍රමික පරාජයන් අත්විඳින්නට යෙදිණි. එනිසා ටැමිල් මිරර් සති මැද ලිපියකින් ප්‍රකාශ වූයේ, දෙමළ ජාතික සභාව දේශපාලන පක්ෂයක් ලෙසින් කටයුතු කිරීමට මැළි වීම, සැබවින්ම ඉලංකෛ තමිල් අරසු කච්චි ජයග්‍රහණය සනාථ කිරීමට හේතු වනු ඇති බවයි. වීරකේසරී ලිපියකින් සඳහන් කෙරුණේ, පක්ෂයේ යහපත යන ස්ථාවරයේ සිට බැලූ විට, ප්ලොට් හා ටෙලෝ පක්ෂ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) හා එක් වූවද ඉලංකෛ තමිල් අරසු කච්චි ස්වාධීනව තරග කිරීම මගින් එයට යම් විටක වැඩි වාසිය ලබාගැනීමට හැකි වනු ඇති බවටයි.

මාධ්‍ය නිදහස කෙරෙහි රජයේ කැපවීම

මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ නැවැත්වීම තුළින් නීතියේ ආධිපත්‍යය සහ ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීමට කලාපීය සහයෝගීතාවය සඳහා වූ යුනෙස්කෝ සමුළුව මෙම සතියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

රජය විසින් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමට ඇප කැප වී සිටිනා බවටත්, රජය මාධ්‍ය නිදහස නගා සි‍ටුවා ඇති බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පළ කරන්නට යෙදුණු නිරීක්ෂණ සම්බන්ධයෙන් දමිළ පුවත්පත්ද වැදගත් නිරීක්ෂණ දෙකක් සිදුකර තිබිණි. මූලිකවම වීරකේසරී කතුවැකිය මගින් උපුටා දැක්වූයේ, රජය විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම පිළිබඳ විමර්ශන නැවත ආරම්භ කළද, තරාකී සිවරාම්, අයියදුරෙයි නඩේසන් සහ සුබ්‍රමනියම් සුකිර්තරාජන් වැනි දමිළ මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් රජය එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි. දෙවෙනුව උදයන් කතුවැකිය මගින් ප්‍රශ්න කොට සිටියේ, ‍තෝරාගත් මෙවැනි සිදුවීම් කිහිපයක් පමණක් නැවත විමර්ශනයට ලක් කිරීමත්, ඉහත දැක්වූ අනෙක් අපරාධයන්ට සම්බන්ධ අපරාධකරුවන්ට යුක්තියෙන් පැනයෑමට ඉඩ දීමත් තුළ ඇති අරමුණු මොනවාද යන්න සම්බන්ධයෙනි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් යුනෙස්කෝ සමුළුව පිළිබඳව වූ සිංහල පුවත්පත් මත දැක්වීම් විශාල වශයෙන් මධ්‍යස්ථ වූ බව දක්නට ලැබිණි. මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ විශාල ප්‍රමාණයක නොවිසඳුණු සිදුවීම් පෙන්වා දෙමින්, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයන්ගේ සත්‍යවාදී බව ප්‍රශ්න කර සිටියේ විකල්ප පුවත්පතක් වූ රාවය පමණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top