සාමසාධක තාත්තලාගෙන් නඩත්තු මුදල් ඉල්ලා හයිටියේ අම්මාවරු උසාවි යති

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් එක්සත් ජාතීන්ගේ සාමසාධනයට යවනු ලැබූ සොල්දාදුවන්ගේ ලිංගික සුරාකෑමට ගොදුරුවී ගැබ් ගෙන දරුවන් ලැබුනු හයිටියේ අම්මාවරුන් පිරිසක් නඩත්තු හා වන්දි ඉල්ලා එරට අධිකරණය හමුවට ගොස් තිබේ.

මව්වරුන් දහ දෙනකුගේ දරු දැරියන් එකොලොස් දෙනකු වෙනුවෙන් පොදුවේ එක්සත් ජාතීන්ටත්, තනි තනිව සොල්දාදුවන්ටත් නඩු පවරා ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙකකි.

හයිටියේ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ජාත්‍යන්තර ආයතනය (IJDH) සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කාර්යාංශය (BAI) විසින් පවරා ඇති නඩුවෙන් අඩුම වශයෙන් එක් ශ්‍රී ලාංකික සොල්දාදුවකුගෙන් වන්දි ඉල්ලා තිබේ.

එම සොල්දාදුවාට දාව උපන් දැරියට මේ වනවිට වයස අවුරුදු නමයක් වන බව IDJH නීතිවේදිනී නිකෝල් ෆිලිප්ස් ගගන හා පැවසුවාය.

හයිටිය බලා 2006 දී ශ්‍රී ලංකාවෙන් ගිය බලකායේ  චූදිත සොල්දාදුවා ශ්‍රී ලංකා බලකා මුලස්ථානය පිහිටි වරායබද ලියෝගාන් හමුදා කඳවුරේ සිටියදී ඔහු හා එක්වීමෙන් මව පිළිසිඳ ගෙන ඇත්තේ 2007 දීය.

දරුවාගේ පියා බවට විශ්වාස කෙරෙන සොල්දාදුවාගේ නම ද පැමිණිල්ලේ  සඳහන් වේ.

අත සෝදා ගැනීම

වින්දිත කාන්තාව ගැබ් ගත් දිනවලම සොල්දාදුවා ඇතුළු භට පිරිස හයිටියෙන් පිටව යාමෙන් අනතුරුව පැමිණි  අලුත් බලකායේ අණදෙන නිලධාරියාට දෙවරක්ම පැමිණිළි කළත් ඔහු කිසිම විසඳීමක් නොදී පීඩාවට පත් කාන්තාව පලවා හැර තිබෙන බව IDJH නීතිවේදිනිය පවසන්නීය.

“එක්සත් ජාතීන්ට ගිහින් කියන්න කියා ඔහු අත හෝදාගෙන තියෙනවා,” යි නිකෝල් ෆිලිප්ස් කියා සිටියාය.

චූදිත භටයන් සාම සාධක මෙහෙයුම්වල යෙදවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයද දරුවන් සම්බන්ධයෙන් තම වගකීම පැහැර හැරීම නිසා හයිටි අධිකරණයේ සරණ යාමට සිදුවූ බව නඩු පැවරූ සංවිධාන පෙන්වා දෙයි.

වයස අවුරුදු පහත්, එකොළහත් අතර වන “සාමසාධක දරුවන්”  දිවිගෙවන්නේ මහත් ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින තම මව්වරුන් සමගය.

“නඩත්තු ඉල්ලා පියවර ගන්නා බවට එවක හයිටි සාමසාධක දූත මණ්ඩලයේ ප්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ විශේෂ නියෝජිත සෝන්ඩ්රා ඔනෝරේ ට 2016 අගෝස්තු 3 දා නිල වශයෙන් දැනුම් දී තිබුනත් එක්සත් ජාතීන් කවදාවත් උත්තර දුන්නේ නෑ,” යි BAI නීතිඥ මාරියෝ ජෝසප් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය (OIOS) විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සමග 2007 දී පවත්වන ලද රහසිගත පරීක්ෂණයකින් හඳුනාගෙන ඇති ශ්‍රී ලංකා යුද භටයන් සංඛ්‍යාව 134 ක් 2004 අවසාන භාගයේ සිට 2007 මැද දක්වා හයිටි දරුවන් හා දැරියන් නම දෙනකු ලිංගික වශයෙන් සූරා කා ඇති බවට චෝදනා නැගෙයි.

නිකෝල් ෆිලිප්ස්

ශ්‍රී ලංකාවේ තාත්තලා

අඩුම වශයෙන් කාන්තාවන් සහ දැරියන් තිදෙනකු ශ්‍රී ලාංකික සෙබළුන් අතින් ගැබ් ගන්නා ලදැයි එම විමර්ශනයේ දී හෙලිවූ බව පරීක්ෂණ වාර්තාව උපුටා දක්වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විදේශගතව සිට මැදිහත්වන සංවිධාන දෙකක් මාසයකට ඉහතදී එළිදක්වන ලද වාර්තාවක දැක්වේ.

“සම්මුඛ පරීක්ෂිත එක් හයිටි කාන්තාවකට ඊට ආසන්න දිනකදී ගර්භපාතයක් සිදුවී තිබුනි.” යි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පලකළ ඒකාබද්ධ වාර්තාවක සඳහන් වෙයි.

“තවත් තැනැත්තියක් ඡායාරූප පෙළකින් තම අතදරුවාගේ පියා හඳුනා ගත්තාය. තුන්වැනි කාන්තාවක් සම්මුඛ සාකච්ඡා අවස්ථාවේ සිටියේ ගර්භණීවය.”

ශ්‍රී ලංකාවට අමතරව චූදිත හිටපු සාම සාධක භටයන් ආපසු උරුගුවේ, නයිජීරියාව සහ ආජන්ටිනාව ආදී රටවල්  බලා ආපසු ගොස් සිටින හෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් තොරව යුක්තිය ඉටු කරවා ගැනීම අසීරු කරුණක් වී ඇති බව IDJH හා BAI පවසයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරය

හයිටි අධිකරණයේ පවරා ඇති නඩුවෙන් හයිටි විදේශ හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය අන්තෝනියෝ රොද්රීග්, වර්තමානයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත සහ හයිටි සාමසාධක දූත මණ්ඩලයේ ප්‍රධාන පරිපාලිකා සූසන් පේජ් සහ හයිටියේ තම දරුවන් අතරමං කළ සාමසාධක භටයන් වගඋත්තරකරුවන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ සාමසාධක තාත්තලා පැමිණි රටවල් සමග හවුලේ කටයුතු කොට නඩත්තු මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

වන්දි ගෙවීමේ වගකීම “පීතෘ භාවය තහවුරු වන පුද්ගලයන්” සතු වන බව මහලේකම්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ලන්ඩනයෙන් පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට පවසා තිබුනි.

හයිටියේ සාම සාධක රාජකාරි සඳහා  2004 ඔක්තෝබරයේ පිටත්ව ගිය ප්‍රථම ශ්‍රි ලාංකීය හමුදා බලඇණියේ කපිතාන්වරයකු වශයෙන් රාජකාරියේ යෙදී සිටි ලුතිතන් කර්නල් කලණ අමුණුපුරගේ නායකත්වයෙන් යුත් 184 දෙනකු ගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයක් මේ මස අගදී බටහිර අප්‍රිකාවේ මාලි බලා පිටව යාමට නියමිතය.

Related posts

Comments are closed.

Top