NSBM ට ස්වර්ණ සම්මාන රැසක්

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන NSBM හරිත සරසවිය, නැවත වතාවක් සිය වාර්ෂික වාර්තාව හා සේවා තත්ත්වය යන අංශ දෙක සඳහා ම ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම්  ලබා තිබේ.

ඒ අනුව NSBM හරිත සරසවිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ 53 වැනි වාර්ෂික වාර්තා තරගයෙන් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය වෙනුවෙන් පිට පිටම තුන්වැනි වතාවටත් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා පළමු ස්ථානයට පත් ව ඇත.

එමෙන්ම  ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ව්‍යාපාර විශිෂ්ඨතා  සම්මාන උළෙලේ  හොඳම  රාජ්‍ය සේවා ආයතනයට හිමි රන් සම්මානය ද  හිමිකරගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සම්මාන හා සහතික පත්‍ර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි ට පිරිනැමීම 19 අගහරුවාදා අමාත්‍යංශයේ දී සිදු කර ඇත.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ  නුදුරේදී ම NSBM ආයතනය කලාපයේ ප්‍රබල විශ්ව විද්‍යාලයක් බවට පත්වනු ඇති බවයි.

අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුර, NSBM ආයතනයේ සභාපතිනී රුවන්ති ගුණතිලක, උප කුලපති ආචාර්ය ඊ. ඒ. වීරසිංහ හා ජෙෂ්ඨ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මේ අවස්ථාවට සහභාගි වී ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් වන NSBM ආයතනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල රැසකට අනුබද්ධව ද කලමනාකරණ, පරිගණක හා ඉංජිනේරු යන විෂය ධාරා ඔස්සේ උපාධි පාඨමාලා පිරිනමන බව රජය පවසයි.

ක්ෂේත්‍රයට  ගැළපෙන පාඨමාලා ව්‍යුහයකින් ක්‍රියාත්මක වන NSBM ආයතනයෙහි උපාධි හදාරන සිසුන්ට, ජාත්‍යන්තර තලයේ අංග සම්පුර්ණ විශ්වවිද්‍යාල පහසුකම් අත්විඳිය හැකි අතර මේ වන විට NSBM ආයතනයේ සිසුන් 9000ක් උසස් අධ්‍යාපනය හදාරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top