ලෝක පාපන්දු කුසලානය ලංකාවෙන් ගමන් ඇරඹීම ගැන ජනපති මාධ්‍ය ඒකකය උදම් වෙයි

ලබන වසරේ රුසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරගාවලියේ කුසලානය ක‍්‍රීඩා ලෝලීන්ට දැකබලා ගැනීම සඳහා සංචාරය කෙරෙන රටවල් 54 අතරින්  ප‍්‍රථම රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හා අනුග‍්‍රාහකත්වය දක්වන ආයතන නියෝජිතයන් ඒ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත නිල වශයෙන් දැනුවත් කිරීම 21 බ්‍රහස්පතින්දා  පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු කර ඇත.

2018 ජනවාරි මස 23 දින පස්වරුවේ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ලෝක පාපන්දු කුසලානය අනතුරුව ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව තිබේ.

එන වසරේ පාපන්දු ලෝක කුසලානය ලොවට හඳුන්වාදීමේ ප‍්‍රථම අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවීම ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් වන අතර එය ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනවාරි 24 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන ලෝක පාපන්දු කුසලානය එදිනම පස්වරුවේ මාලදිවයින කරා රැගෙන යාමට නියමිතය.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක, ක‍්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකා සුසන්තිකා ජයසිංහ ද එම අවස්ථාවට එක්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.

 

Related posts

Comments are closed.

Top