UN නිර්දේශ නොතකා ඔස්ට්‍රේලියාව දෙමළ තරුණයකු පිටුවහල් කරයි

ආරක්ෂාව පතා පලා ආ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා ආපසු නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා දින දහයක් ගතවීමටත් පෙර ඔස්ට්‍රේලියාව තවත් අයකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

රාජා යන නමින් පමණක් හඳුන්වනු ලැබු දෙමළ තරුණයා බදාදා රාත්‍රියේ බලහත්කාරයෙන් ආපසු යවන ලද බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නිව් සවුත් වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී ආයතනය පවසයි.

ඔහු ශ්‍රී ලංකාවෙන් බෝට්ටුවක නැගී පලාවිත් ඇත්තේ 2012 දීය.

සිඩ්නි නුවරට කිලෝමීටර 25ක් බටහිරින් පිහිටි විලාවුඩ් සංක්‍රමණික කඳවුරේ රඳවා සිටි තරුණයා බදාදා පාන්දර සිට මාංචු ලා සවස පිටුවහල් කිරීම පිණිස සූදානම් කර තබා තිබේ.

භයානක පුර්වාදර්ශයක්

ගුවන්තොටුපලේ රැඳී සිටිමින් ඔහු පිටුවහල් කිරීම වලක්වාලීම සඳහා ගත් වෙහෙස අසාර්ථක වූ බව දැනුම් දෙමින් RACS යනුවෙන් හැඳින්වෙන සරණාගත උපදේශක හා නීති සේවාව “භයානක පුර්වාදර්ශයක්” සපයන බවට ඔස්ට්‍රේලියා රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.

“ඔහුගේ ඉල්ලීම සලකා නොබලා ගුවන් යානයක පටවා ඔහු පලා ආ රටටම ආපසු පිටුවහල් කිරීම අසාමාන්‍ය අයුක්තියක්,” යැයි නීති සේවාවේ විධායක අධ්‍යක්ෂිකා ටාන්යා ජැක්සන් වෝන් සිඩ්නි ගුවන් තොටුපලේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියාය.

දේශපාලන රැකවරණ ඉල්ලන අයදුම්පත් ඔක්තෝබර් පළමු දාට පෙර ඉදිරිපත් කරන ලෙස ඔස්ට්‍රේලියා රජය හදිසියේම දින නියම කිරීම නිසා රාජා ඇතුළු බොහෝ දෙනකුට නියමිත දිනයේ ලියකියවිලි බාර දීමට හැකිවී නැත.

ඔහුට මේ මේ ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇත්තේ කිසිදු සහායක් නැතිව පිටු 41ක අයදුම්පත්‍රයක් ඉංග්‍රීසියෙන් පුරවා බාර දීම සඳහා නීති ආධාර ලබාගෙන කටයුත්ත සම්පූර්ණ කරගත නොහැකි වූ නිසාය.

“සීග්‍රගාමී මාවත” යනුවෙන් හැඳින්වෙන මෙම නව අයැදුම්පත් කාර්යාවලිය මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස එක්සත් ජාතීන් ඇතුළු මානව හිමිකම් සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක්වුවකි.

ආගමන විගමන බලධාරීන් රාජාගේ ඉල්ලුම් පත කල් පමාවූ බව පවසමින් ප්‍රතික්ෂේප කර ඔහු පිටුවහල් කර තිබේ.

RACS ප්‍රධාන නීතිවේදිනී සේරා ඩේල් පවසන්නේ ඕස්ට්‍රේලියා ආණ්ඩුව පනවා ඇත්තේ “මුළුමනින්ම අත්තනෝමතික” දින නියමයක් බවයි.

ජීවිතය අවදානමේ

“මේක වෙන්න පුළුවන් කියා අපි ආණ්ඩුවට දිගටම කිව්වා. හේතු ගණනාවක් නිසා පුද්ගලයන්ට මේ දිනේට වැඩ කටයුතු ඉවරකරගන්න බැරිවේවි කියා කිව්වා,” යි ඇය පවසන්නීය.

පිටුවහල් කරනු ලැබූ දෙමළ තරුණයාගේ ජීවිතය අවදානම් සහගත බවට නීතිවේදිනිය අනතුරු අඟවයි.

“ආපසු යැව්වාම ජීවිතයට ඇති අවදානම ගැන, ප්‍රශ්න කිරීම් ගැන, ශ්‍රී ලංකාවට ගියොත් විඳින්නට වෙන බරපතල හානිය ගැන ඔහු ඉන්නේ බියෙන්.”

පිටුවහල් කිරීමට නියමිතව සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වධහිංසාවට ලක්වීමේ අවදානමක් ඇති හෙයින් ශ්‍රී ලංකාවට ආපසු නොයවන ලෙස වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) ඕස්ට්‍රේලියා ආණ්ඩුවට නිර්දේශ කර තිබුනේ පසුගිය 11 දාය.

එල්ටීටීඊ ය සමග මොනයම්ම හෝ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ට මේ වසරේත් සිරකොටගෙන වධහිංසා පමුණුවන ලද බවව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කර තිබු හෙළිදරව් ජුලියේ දී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් තහවුරු කර තිබුනි.

“ජාතික ආරක්ෂාවේ නාමයෙන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නවුන් ට එරෙහිව වධහිංසා කිරීම එදා මෙන්ම අදත්, ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවතින බව නිගමනය කිරීමට අවශ්‍ය සියලුම සාක්ෂි තිබේ,” යි විශේෂ වාර්තාකාර බෙන් එමර්සන් පවසා සිටියේය.

වධහිංසාවට ගොදුරුවීමේ අවදානම සහිත දේශපාලන රැකවරණ පතන්නන් පිටුවහල් නොකිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතිය යටතේ ඔස්ට්‍රේලියාව බැඳී සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියා ආණ්ඩුව පවසන්නේ තමන් එම ජාත්‍යන්තර වගකීම ඉටු කරන බවයි.

කෙසේවෙතත්, සිඩ්නි ගුවන්තොටුපලින් පිටුවහල් කරනු ලැබූ රාජා නමින් හැඳින්වෙන දෙමළ තරුණයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඕස්ට්‍රේලියා සංක්‍රමණික බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ලන්ඩනයේ සිට පලකෙරෙන ද ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.

Related posts

Comments are closed.

Top