දෙමළ තරුණයා පිටුවහල් කිරීම “ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර වගකීම් පැහැර හැරීමක්” UN

දේශපාලන රැකවරණ පතා සිටි දෙමළ තරුණයකු බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම බිය එලවන සුලු පියවරක් ලෙස හෙලා දකින එක්සත් ජාතීන්ගේ සංවිධානය එමගින් සිය ජාත්‍යන්තර වගකීම් පැහැර හැරීම ගැන ඔස්ට්‍රේලියාව දෝෂ දර්ශනයට ලක් කර සිටී.

ඔහු පිටුවහල් නොකොට රැකවරණ පතා කරන ඉල්ලීම සලකා බලන බවට සහතික වන මෙන් ආණ්ඩුවෙන්  ඉල්ලා සිටි බව සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කෙසේවෙතත්, දේශපාලන රැකවරණ ඉල්ලන අයදුම්පත් ඔක්තෝබර් පළමු දාට පෙර ඉදිරිපත් කරන ලෙස ඔස්ට්‍රේලියා රජය හදිසියේ කළ දින නියමය පරිදි ලියකියවිලි බාර දීමට අසමත් වීම නිසා රාජා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ තරුණයා සිඩ්නි ගුවන් තොටුපලින් 20 බදාදා කොළඹ බලා යන ගුවන් යානයක නංවා යවා තිබුනි.

මුහුදු මගින් පැමිණි සංක්‍රමණිකයන් ට අයදුම් පත් ඉදිරිපත් කිරීම සඳහා තිබූ ඉඩකඩ 2012 ජූලි මාසයේ සිට ඇහිරූ ඔස්ට්‍රේලියාව හදිසියේම ඔක්තෝබර් 1 දා ට පෙර අයදුම් කරන ලෙස පැනවූ දින නියමයට අනුකූලව දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට නොහැකිවූ බොහෝ පිරිස් ඇතැයි ජගත් සරණාගත සංවිධානය 22 සිකුරාදා කියා  තිබේ.

ඊට විවිධ යුක්ති සහගත හේතු ඇති බව එය කියා සිටී.

ඒ අතරින් එකක් වන නීති ආධාර නොලැබීම බලහත්කාරයෙන් පිටුවහල් කරනු ලැබූ දෙමළ තරුණයාගේ ඉල්ලුම් පත පමා වන්නට බලපෑ බව පැහැදිලි කරන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකාවක් ශ්‍රී ලංකාව තුලදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළකර සිටී.

කිසිවකුගේ සහායක් නොලද තරුණයාට පිටු 41ක අයැදුම් පත්‍රයක් නීති ආධාර ලබාගෙන ඉංග්‍රීසියෙන් පුරවා බාර දිය නොහැකි වීම පමාවට හේතු වූ බව ඔහු පිටුවහල් කිරීම වලක්වාගන්නට වෙහෙසුනු RACS යනුවෙන් හැඳින්වෙන සරණාගත උපදේශක හා නීති සේවාව පවසා තිබුනි.

“මේ සන්දර්භයෙහි ලා ගත් කල, ජාත්‍යන්තර ආරක්ෂාව අවශ්‍ය බව පවසන දේශපාලන රැකවල් පතන්නකු ගේ ඉල්ලීමේ යෝග්‍යතාව නොතකා හරවා යැවීම අන්තරායට හෝ වධහිංසාවට නැවත බාරදීමේ බරපතල අවදානම මුණ ගස්වයි,” යනුවෙන් ජගත් සරණාගත සංවිධානයේ කැන්බරා නුවර ප්‍රකාශිකා කැතරින් ස්ටබර්ෆීල්ඩ් පවසයි.

ආරක්ෂාව පතා පලා ආ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා ආපසු නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවා තිබුනේ මේ මස මැදදීය.

Related posts

Comments are closed.

Top