ජනපති ඡන්ද නීති කඩන බවට මැකො ට පැමිණිල්ලක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගන්නා බව සනාථ වන ලිඛිත සාක්ෂි සහිතව පැමිණිල්ලක් කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමින් ඉල්ලා සිටී.

 

මෙවර පළාත් පාලන මැතිවරණයේ තරග වදින දේශපාලන පක්ෂයක් වන එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මැතිවරණ ප්‍රචාරක කටයුත්ත සඳහා පුද්ගලයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන කැඳවා ඇති ලිපියක පිටපතක්ද සමගින් තම පැමිණිල්ල ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමුකර ඇති මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙය ජනාධිපති විසින් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් යොදා ගැනීම මගින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙයි.

 

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දෙසැම්බර 28 උදය වරුවේ පැවැති එම මැතිවරණ ප්‍රචාරක උත්සවය සඳහා ලිපි යවා ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරියගේ අත්සනිනි.

 

ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට අමතරව මෙම උත්සවය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව යොදාගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන සැලසුනේ කොතනින්ද යන්නත්, උත්සවය සජීවීව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කිරීම මගින් ජාතික රූපවාහිනිය එම මැතිවරණ ප්‍රචාරක කාර්ය සඳහා යොදා ගැනීම ගැනත් වහාම පියවර ගෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස කුසල් පෙරේරා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගෙන් ඉල්ලා සිටී.

 

එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය සම්බන්ධීකරණය කොට ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂ දෙපලක් වන සෝමරත්න දිසානායක සහ ධර්මසිරි බණ්ඩාරනායකයි.

Related posts

Comments are closed.

Top