යුද කලාප වල දරු දැරියන්ට එරෙහිව කම්පා කරවන සුලු ප්‍රහාර

 

ලොව යුද කලාපවල වෙසෙන ළමුන් හට 2017 වසර තුලදී මුහුණ දීමට සිදු වී ඇති ප්‍රහාර වල පරිමාණය හද කම්පා කරවන සුළු මට්ටමකට පවතින බව එක්සත් ජාතීන්  අවධාරණය කරයි.

මිනිස් පළිහ ලෙසින් යොදා ගැනීම්, ඝාතනය කිරීම්, ආබාධිත තත්වයට පත් කිරීම්, පැහැර ගැනීම් සහ බලහත්කාරයෙන් සටනේ යෙදවීම් වැනි විවිධාකාර කටයුතු වලට දරුවන් හිතාමතාම ඉලක්ක කරගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් 28 බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවක සඳහන් වේ.

අනතුරට භාජනය වීමේ වැඩි අවදානමකින් යුත් මෙම කොට්ටාශය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිහිටුවා ඇති නීති අමු අමුවේ, මහත් සේ උල්ලංඝනය කෙරෙන බව ඔවුහු පවසති.

ළමුන්ගේ ආරක්ෂාව වඩාත් හොඳින්ම තහවුරු කෙරෙන ස්ථාන ලෙස සැලකෙන නිවාස, පාසල් සහ ක්‍රිඩා භුමි තුලදී පවා ඔවුන් ඉලක්ක බවට පත්ව ඇතැයි UNICEF අධ්‍යක්ෂ මැනුවල් ෆොන්තෙන් පවසා ඇත.

 

භයානක කලාප

ගෙවී යන වසර තුලදී දරුවන් වැඩි වශයෙන් අනතුරුවලට ගොදුරු වී ඇති යුද කලාප පිළිබඳව වාර්තාව මඟින් හෙළිදරව්වක් කර තිබේ.

  • මධ්‍යම අප්‍රිකානු ජනරජය  තුල, ළමුන් ඝාතනය කිරීම්, අපචාරයට ලක් කිරීම්, පැහැර ගැනීම් සහ සන්නද්ධ කණ්ඩායම් විසින් බලහත්කාරයෙන් ළමුන් සේවයේ යෙදවීම් වාර්තා වී ඇත.
  • බොකෝ හරාම් ඉස්ලාමිය කැරලිකරුවන් විසින් උතුරු නැගෙනහිර නයිජීරියාවේ සහ කැමරුන් හි වෙසෙන දරුවන් අවම වශයෙන් 135 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙසින් බලහත්කාරයෙන් යොදවා ගෙන තිබේ. එම සංඛ්‍යාව 2016 ට වඩා පස් ගුණයකි.
  • මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ හටගත් අර්බුදයේදී සිය වාසස්ථාන වලින් එලවා දැමීම නිසා “කම්පාකරවන සුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට” මැදිවී ඉන් පිඩා විඳීමට රෝහින්ග්‍යා ළමුන්ට සිදු විය.
  • දකුණු සුඩානයේ ළමුන් 19 000 කට වැඩි පිරිසක් සන්නද්ධ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් වලට බඳවා ගෙන ඇත.

 

 

  • යේමනයේ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් දරුවන් 5000 ඝාතනය වී හෝ තුවාල ලබා ඇතැයි නිල සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන නමුත් මියගොස් ඇති ප්‍රමාණය ඊට වඩා ඉහල අගයක් ගැනීමට ඉඩ තිබේ.
  • නැගෙනහිර යුක්රේනයේ ළමුන් දෙලක්ෂ විසි දහසක් පමණ යුද්ධයෙන් අත්හැර දැමු බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය වලින් නිරන්තරයෙන් එල්ල වන ජිවිත තර්ජන හමුවේ දිවි ගෙවති.

 

 

ලක්ෂ ගණනකට රෝබිය

ජලය ,ආහාර, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීම සඳහා ප්‍රවේශ වීමට ඇති ඉඩ ඇහිරීම හේතුවෙන්  මිලියන ගණනක් දරුවන් මන්දපෝෂණයෙන්, රෝගාබාධ වලින් සහ කම්පන තත්වයෙන් පිඩා විඳින බව වාර්තාව මඟින් පෙන්වා දෙයි.

දරුවන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය වහාම නවතා දමන ලෙසත් පාසල්, රෝහල් ඇතුළු සාමාන්‍ය වැසියන් ගැවසෙන ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදු නොකරන ලෙසටත් එක්සත් ජාතින් සියලු පාර්ශව වලින් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

Related posts

Comments are closed.

Top