දීප්ති බෝගොල්ලාගමගේ හැසිරීම “සුදු ආණ්ඩුකාර බිරිඳකගේ වාගේ” | VIDEO

හින්දු පුදබිමකට කඩාවැදී බැතිමතුන්ට බැන තර්ජනය කළ නැගෙනහිර ආණ්ඩුකාරයාගේ බිරිඳගේ චර්යාව යටත් විජිත ආණ්ඩුකාර භාර්යාවකගේ වැනි යැයි රජයේ ඇමැතිවරයකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කූනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ ස්කන්ධකුමාර කෝවිල් භූමියට ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සහ ආරක්ෂක නිලධාරීන් සමගින් ගිය දීප්ති බෝගොල්ලාගම පරුෂ වචනයෙන් බැන වැදී  “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” යයි පසුගිය සතියේ තර්ජනය කර තිබුනි.

ආගමික මතබේදයකට තුඩුදී ඇති ස්ථානයකට කිසිදු නිල බලයක් රහිතව ගොස් ජාතීන් අතර සමගිය කඩාකප්පල් කරන ආකාරයෙන් ආණ්ඩුකාර බිරිඳ කටයුතු කළ ආකාරය “කැත හැසිරීමක්” ලෙස හෙලා දකින  ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කරන බව පවසයි.

“නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ භාර්යාව දීප්ති බෝගොල්ලාගම කැත විදියට හැසිරුනේ හරියට සුදු ආණ්ඩු කාරයකුගේ බිරිඳක් වගේ,” යයි අමාත්‍ය මනෝ ගනේෂන් ගගනට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. “මෙවැනි පුද්ගලයන් තියාගෙන අපිට ජාතික සංහිඳියාව ගොඩනගන්න බෑ.”

ආණ්ඩුකාර බෝගොල්ලාගම ද මහජන නියෝජිතයකු නොවන ජනාධිපති විසින් පත් කරන ලද අයකු බව අවධාරණය කළ ඇමැතිවරයා හින්දු බැතිමතුන්ට තර්ජනය කරන අවස්ථාවේ දීප්ති බෝගොල්ලාගමට රැකවරණ සලසා දුන්නේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් බව පෙන්වා දුන්නේය.

“මේ ගැන රෝහිත බෝගොල්ලාගම උත්තර දිය යුතුයි.”

පසුගිය රජය සමයේ කරන ලද වැරදි සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය දීප්ති බෝගොල්ලාගමට සමාව දී නිදහසේ හැසිරෙන්නට ඉඩ දී තිබුනත් මේ ආණ්ඩුව එවන් සමාවක් නොදෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හෘද රෝග විශේෂඥ දොස්තර සින්නදුරෙයි නරේන්ද්‍රන් ගේ බොරැල්ලේ නිවසට 2004 දී ඇතුල්වී මරණීය තර්ජනය කොට පිහියකින් අනින ලද බවට එවකට ඇමැති බිරියක් වූ දීප්ති බෝගොල්ලාගමට චෝදනා කරමින් නගා තිබූ නඩුවක් සමථයකට පත් කරන ලද්දේ නඩුව තවත් පවත්වාගෙන නොගොස් සමාව දීමට තීරණය කළ බව 2005 දී වෛද්‍යවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

 

Related posts

Comments are closed.

Top