ඉඩම් ආපසු දී අවසන් බව හමුදාව කීවත් උතුරේ සටන දිගටම | VIDEO

උතුරේ අත්පත්කර ගෙන සිටි භූමියෙන් හමුදා පරිහරණයට අවශ්‍ය නොවන ඉඩම් මුදාහැර අවසන් බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශයට පත් කරද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ තම මුල් ගම්බිම ආපසු නොලද දෙමළ ජනතාව දින තුන්සියය ඉක්මවා ඇති සත්‍යග්‍රහය අත් නොහැර පවත්වාගෙන යන බවට ශපත කර සිටිති.

මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් ඉඩම් නැවත ඉල්ලා කරන උද්ඝෝෂණයට දින 304 ක් පිරෙන 28 බ්‍රහස්පතින්දා යුද හමුදාව විසින් අක්කර 133.34 ක් තෝරාගත් පිරිසක් අතරේ බෙදා හැර තිබුනි.

මුලතිව් යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ඉඩම් පවරා ඇත්තේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී. සෙන්තිලන්දන් සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතිෂ්වරන් වෙත ඉඩම් නිරවුල් කිරීමේ සහතික සංකේතාත්මකව භාර දෙමිනි.

එයින් අක්කර 111.05 ක කොටසක් කේපාපුලව් ඉඩම් අයිතිකරුවන් 68 දෙනකු වෙත මුදා හරින ලද අතර, ඉතිරි අක්කර 21.84 සීනියාමොටෙයි ගම්මානයේ ඉඩම් අයිතිකරුවන් 17 දෙනකු හට භාර දෙන ලද බව යුද හමුදාව පවසයි.

කෙසේවෙතත්, උද්ඝෝෂණයේ නිරත කේපාපුලව් මුල් ඉඩම් අහිමිවූවන් පවසා සිටියේ තමන්ගෙන් උදුරාගත් භූමිය තවමත් ආපසු බාර දී නැති බවයි.

එම ඉඩම් පිළිබඳ විස්තර රැගත් අතිරේක ලේකම් බී. සෙන්තිලන්දන් වෙත භාර දීමට ගියත් ඊට ඉඩ නොදී යුද හමුදාව තමන් ආපසු හරවා එවීම ගැන උද්ඝෝෂකයන් සිටියේ දැඩි කෝපයෙනි.

පවුල් සියයකට අයත් ඉඩම් අක්කර 171 ක තවමත් හමුදාව වාඩිලාගෙන ඉන්නා බව සිවප්‍රගාසම් අරියකලා මාධ්‍යවේදීන් හා පවසා සිටියාය.

එම පිරිසට ඉඩම් ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරියා ප්‍රකාශ කළේ  “දිය හැකි” ඉඩම් බෙදා දී අවසන් බවයි.

“මේ වනවිට යුද හමුදාවට දියහැකි සියලුම ඉඩම් සිවිල් ජනතාවට පරිහරණය සඳහා බාරදීලා තියෙන්නේ,” යි ලුතිනන් කර්නල් අසේල උභයසේකර මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

උතුරේ වාඩිලාගෙන සිටි යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්ක වල පුද්ගලික හා රජයේ ඉඩම් අක්කර 55,510.58 ක් දෙසැම්බර් පළමු වැනිදා වනවිට නිදහස් කර තිබූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

කෙසේවෙතත්, යාපනය මුලස්ථාන කොටගත්  ප්‍රතිපත්ති ගවේෂණය සඳහා වන අඩයාලම් මධ්‍යස්ථානය සහ වොෂින්ටන් මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය සහ සහන සඳහා වන ජනතාව (පර්ල්) සංවිධානය එක්ව මේ වසරේ ඔක්තෝබරයේ එළිදැක්වූ වාර්තාවකට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් රජයේ ආරක්ෂක අංශ වාඩිලාගෙන සිටින භූමි ප්‍රමාණය අක්කර තිස් දහසකි.

හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට ආපසු ලැබෙන තුරු කේපාපුලව් සටන  දිගටම පවත්වාගෙන යන බව උද්ඝෝෂණයේ ආරම්භක ක්‍රියාධරයකු වන ආරුමුගම් වේලායුදපිල්ලේ මාධ්‍යවේදීන් සමගින් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top