මාරාන්තික වසංගතයකින් රෝහින්ග්‍යා සරණාගත 27ක් මරුට

මියන්මාරයෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටින බංග්ලාදේශ අනාථ කඳවුරු තුල ක්‍රමයෙන් පැතිර යන මාරාන්තික ඩිප්තීරියා වසංගත රෝගී තත්වය නිසා අවම වශයෙන් 27 දෙනකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

උද්ගතව ඇති ඖෂධ හිඟය නිසා රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිජීවක ලබා දීමට නොහැකිව ඇතැයි මෙඩිසොන්ස් සොන්ස් ෆ්‍රොන්තියේ (MSF) සෞඛ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි.

පසුගිය දෙසැම්බර් 21 වැනිදා පටන් සිය සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් වාර්තා වුනු සැක කටයුතු ඩිප්තිරියා රෝගීන් සංඛ්‍යාව දෙදහසකට අධික බවත් දිනපතා අලුත් රෝගීන් වාර්තා වන බවත් ඔවුහු පවසති.

එසේම රෝගීන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 5 ත් 14 ත් අතර ළමුන් බව ද MSF සංවිධානය සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය කණ්ඩායමක්

මියන්මාර පොලිස් මුරපොල කිහිපයක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් අගෝස්තු 25 එල්ල කළ ප්‍රහාර වලින් අනතුරුව එරට හමුදා විසින් දියත් කළ දරුණු මෙහෙයුම් නිසා බුරුමයෙන් පලා ආ හය ලක්ෂයකට අධික පිරිසකට බංග්ලාදේශ කොක්ස් බසාර් කඳවුර නවාතැන් සපයයි.

වසංගත රෝගී තත්වය මැඩ පැවැත්වීම සඳහා හතලිස් දෙනකුට වැඩි පිරිසකගෙන් සමන්විත බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් එම කඳවුර බලා පිටත් වීමට කටයුතු සුදානම් කොට තිබේ.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ ඉල්ලීමකට අනුවය.

 

එහි පළමු පියවර ලෙස 16 දෙනකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් 28 බ්‍රහස්පතින්දා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් ඇත.

ඩිප්තිරියා වසංගත තත්වය පාලනය කිරීමට මෙම කණ්ඩායම සති හයක කාලයක් රට තුල රැඳී සිටීමට නියමිතය.

කාල බෝම්බයක් 

ගෝලීය වශයෙන් ඩිප්තිරියා ප්‍රතිජීවක හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක මිට සතියකට පමණ ඉහතදී එම ඖෂධ සීමිත ප්‍රමාණයක් බංග්ලාදේශය වෙත පැමිණ ඇති බව මෙඩිසොන්ස් සොන්ස් ෆ්‍රොන්තියේ සංවිධානය පවසයි.

ප්‍රතිජීවක හැකි ඉක්මනින් නොලැබී ගියහොත් රෝගීන්ගේ ස්නායුහෘද සහ වකුගඩු පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් සඳහන් කරයි.   

එන්නත් සම්පුර්ණයෙන්ම පාහේ නොලැබී යාමෙන් ඔවුන් දැනටමත් අවධානමට ලක් වෙලා. අවශ්‍ය පමණට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති ඔවුන් ජිවත් වෙන්නේ පිරි ඉතිරි ගිය කඳවුරු තුල. මෙම ගැටලුව හඳුනාගෙන විසඳන තුරු තවදුරටත් පැතිර යා හැකි ඩිප්තිරියා රෝගයට පමණක් නොව අනෙකුත් වසංගත රෝග තත්වයන්ට ද අපි මුහුණ දෙනවා,” යනුවෙන් බංග්ලාදේශ MSF ප්‍රධානි පැව්ලෝ කොලොවොස් පවසයි.

 

මියන්මාර සරණාගතයන් කොක්ස් බසාර් කඳවුර තුල මුහුණ පා සිටින රෝග අවදානම ඕනෑම මොහොතක පුපුරා යාමට ඉඩ ඇති, කාල බෝම්බයකට සමාන බවට පසුගිය මාසයේ අනතුරු ඇඟවූ  නෝර්වේජියානු සරණාගත මණ්ඩලය ( NORCAP)  ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ආයාචනයක් කර තිබුනි.   

බංග්ලාදේශය සහ එහි ජනතාව සරණාගතයන්ගේ උපකාරයට පැමිණිය ද ජාත්‍යන්තර ආධාර සංවිධානවල ඉදිරිපත් වීම ප්‍රමාණවත් නොවන බව NORCAP අධ්‍යක්ෂ බෙනඩික් ජෙජිවර් පවසා තිබුනි.

Related posts

Comments are closed.

Top