අහෝසි කළ GSP ආපසු දෙන ලෙස ආණ්ඩුව එක්සත් ජනපදයෙන් ඉල්ලයි  

දිවයිනේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොල වන එක්සත් ජනපදය විසින් අහෝසි කරනු ලැබූ GSP නමින් ප්‍රචලිත වරණීය බදු සහනය අලුත් කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙතෙක් සලසා දුන් සහනය දෙසැම්බර් 31 දා සිට අහෝසි කිරීමත් සමගම ලබන වසර මුල සිට එක්සත් ජනපදයට යවනු ලබන නිෂ්පාදන සඳහා තීරුබදු ගෙවීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහියකට සිදුවේ.

එක්සත් ජනපද රේගු සහ දේශසීමා පාලන අධිකාරිය පවසන පරිදි GSP ක්‍රමවේදයෙන් තෝරාගත් රටවල් කීපයකට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනයට ඉඩ සලසා දී තිබුනි.

“මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන

යටතේ ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018

ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වීමයි,” යනුවෙන් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගෝලීය වාණිජ ඇට්ලසය නම් දර්ශකය උපුටා දක්වන තානාපති කාර්යාලය පවසන්නේ  2016 වර්ෂයේදී  එක්සත් ජනපදය ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර තිබෙන බවයි.

එය ශ්‍රී ලංකාව පිටරටට අලෙවි කරන නිෂ්පාදන වලින් “ගජ” 27.5% ක් බව තානාපති අතුල් කේෂප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනි.

මේ වසරේ මුල් මාස 10 දී පමණක් ඩොලර් බිලියන 2.4 ක නිෂ්පාදන එක්සත් ජනපදයට අපනයනය කළ බව පවසන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය භාණ්ඩ වර්ග 3,500 කට ආසන්න සංඛ්‍යාවකට තීරුබදු රහිතව යැවීමට ඉඩ සලසා දී තිබුනු බව කියා සිටී.

GSP නැවත ලබා නොදීමේ “ප්‍රමාදය” සිදුවූ පළමු අවස්ථාව මේ නොවන බව පවසන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් බදු සහනය නැවත අනුමත කරනු ඇතැයි විශ්වාසය පල කරයි.

“ශ්‍රී ලංකාව ඇතුළු GSP සන්ධානයේ රටවල් GSP වැඩසටහන අලුත් කරන ලෙස ඉල්ලා සිටින අතර එම වැඩ සටහන නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා සහගතව සිටිමු,” යි විදේශ අමාත්‍යාංශය සිය විශේෂ නිවේදනයේ සඳහන් කර තිබේ.

GSP සහ GSP+

කෙසේවෙතත්, මෙම බදු සහනය අත්හිටුවීම සියලුම රටවලට අදාළ හෙයින් ශ්‍රී ලංකාවට මෙයින් බරපතල අවාසියක් සිදු නොවන ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අදාළ රටවල් 120ටම තීරුබදු ගෙවන්නට සිදුවන්නේ 3.5% ක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය හිමි වී නොතිබූ බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා “ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි” යි කියා සිටී.

එක්සත් ජනපද GSP සහනය අහිමි වුවද එයින් නොලැබෙන වාසියක් මෑතදී යුරෝපය විසින් සලසා දෙන ලද GSP+ බදු සහනය මගින් සැලසෙන බව ඇමතිවරයා පවසයි.

“සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ,” යි ආචාර්ය හර්ෂ ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

Comments are closed.

Top