ජනපති “නොදැන ගිය කෑමකදී” කතා පවත්වන්න සිද්ධවෙලා | VIDEO

කොළඹ ඉහළ පෙලේ හෝටලයක පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහයකට “විනාඩි පහකට” ගිය ජනාධිපතිවරයාට ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සහ වෙබ් මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ දේශනයක් පවත්වන්නට සිදුවී තිබේ.

ජනාධිපතිවරයා සභාව හමුවේ කියා සිටියේ ඒ අවස්ථාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවීමට යොදාගෙන තිබුනත් සිය ලේකම්වරියකගේ ඉල්ලීම පරිදි කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ සංවිධානය කර තිබූ උත්සවයට කෙටි වෙලාවකට “මුහුණ පෙන්නා යාමට” පැමිණි බවයි.

“මේ වැඩසටහන ගැන කිසිම දෙයක් මාව දැනුවත් කරලා තිබුනේ නෑ,” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සභාව හමුවේ කියා සිටියේය.

නිවාඩු නැති ඕනෑම දිනයක “හිතවතුන්, මිත්‍රයන්, පන්දම්කාරයන්, බ්‍රෝකර්ලා” නොමැතිව පෙරවරුවේ තමන් මුණගැසීමට අවස්ථාව ඇතත්, වසර තුනක කාලයක් තිස්සේ බලයේ සිටි තමන් සමග ගැටළු සාකච්ඡා කිරීමට එම උත්සවය සංවිධානය කළ මාධ්‍ය සංගමය තමන් හමු නොවීම ගැන ජනාධිපතිවරයා බලවත් කණස්සල්ල පල කළේය.

උතුරේ මාධ්‍යවේදීන්ගේ අතුරුදහන්වීම් සහ ඝාතන පිලිබඳ පරීක්ෂණ සිදු නොවීම, මාධ්‍යවේදීන් අතුරුදහන් වීම සහ වෙබ් අඩවි සඳහා වෙළෙඳ දැන්වීම් ලබා ගැනීම ඇතුළු ප්‍රශ්න “විවෘතව සාකච්ඡා කළ හැකි” බව කී ජනාධිපතිවරයා ඒ සඳහා ලබන සතියේ තමන් හමුවන ලෙස ආරාධනාක්ද කළේය.

“වෙබ් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය” යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ විසින් “නොදැන ගිය” ජනාධිපතිවරයාට භාරදෙන ලදී.

වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් උත්සවය වෙනුවෙන් යවන ලද ආරාධනා පත්‍රයේ කැඳවා තිබුනේ ජනාධිපතිවරයාගේ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වාර්ෂික සාදයක් සඳහායි.

ආචාර ධර්ම පද්ධතිය යනුවෙන් සඳහන් ලියවිල්ලක් භාරදීම හෝ ජනපති දෙසුමක් ගැන හෝ  එම ඇරියුමේ දක්වා නොමැත.

Related posts

Comments are closed.

Top