“ශ්‍රී ලංකාවේ පොකුරු වෙඩි තහනම් කළ යුතුයි” බිම් බෝම්බ විරෝධී ව්‍යාපාරය| VIDEO

බිම් බෝම්බ භාවිතය නැවත්වීමට එකඟවූ රජය පොකුරු වෙඩි තහනම් කරන්නටත් පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ විරෝධී ක්‍රියාධාරීහු පවසති.

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ තහනම් කිරීමේ ව්‍යාපාරය එම ඉල්ලීම ඉදිරිපත් කළේ මේ අවුරුද්දේ ජූනි  මුල සිට රටේ බිම් බෝම්බ තහනම් කරන්නට ශ්‍රී ලංකාව ගිවිසගැනීම පිළිබඳව සතුට පල කරමිනි.

පුද්ගල නාශක බිම් බෝම්බ පාවිච්චිය, ගබඩා කිරීම, නිෂ්පාදනය සහ ඔබමොබ ගෙනයාම තහනම් කිරීමට මෙන්ම ඒවා විනාශ කිරීමටද එකඟ වන ඔටාවා සම්මුතියට නමින් හැඳින්වෙන ජාත්‍යන්තර එකඟතාවට යුද්ධයෙන් අට අවුරුද්දකට පසු රජය පාර්ශවකරුවකු වූයේ පසුගිය දෙසැම්බරයේය.

පසුගිය රජය ඊට හවුල් වීමට එකඟ නොවූ බව කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරිමේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මෙම රජය ඔටාවා සම්මුතියේ පාර්ශවකරුවකු වීම හැඳින්වූයේ “ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්” ලෙසිනි.

 

කෙසේ වෙතත්, මෙම එකඟතාව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුත් කතිකාවතක් පවත්වාගෙන නොයන බවට  සංවිධායකයන් විසින් ජනමාධ්‍ය විවේචනයට ලක් කරන ලදී.

ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍ර සඳහා “කේන්ද්‍රස්ථාන” බවට පත් කරන්නට දේශපාලකයන් දෙන පොරොන්දු පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ සිහිපත් කළ ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරිමේ ව්‍යාපාරයේ උපදේශක ප්‍රසන්න කුරුප්පු අවධාරණය කළේ ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට ගැලපෙන ආකාරයෙන් රටේ නීතිය වෙනස් කර ගත යුතු බවයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය නීතිගත කිරීමද ඒ සඳහා අත්‍යාවශ්‍ය පියවරක් බව  ඔහු පෙන්වා දුන්නේය.

 

Related posts

Comments are closed.

Top