අතුරුදහන් 11 පරීක්ෂණයෙන් CID ඉවත් කරන ලෙස නාවික හමුදා සැකකරුවෝ ඉල්ලති | VIDEO

අට අවුරුද්දකට ඉහතදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලින් රහස් පොලිසිය ඉවත් කරන ලෙස සැකකාර නාවික හමුදා නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහී බවට චෝදනා කරමින් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ  සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ අසිත් සිරිවර්ධන විසිනි.

රජයේ නීතිවේදී ජනක බණ්ඩාර සහ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් ඉදිරිපත්වන අචලා සෙනෙවිරත්න නීතිඥ දෙපල නාවික හමුදා නිලධාරීන්ගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පල කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සියලු පාර්ශව වලට නිර්දේශ කර තිබේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින මේජර් අජිත් ප්‍රසන්න උසාවි භූමියේදී ජනමාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ මගින් සාක්ෂිකරුවන්ට සහ විමර්ශන කරන නිලධාරීන්ට යුතු බලපෑමක් කෙරෙන බවට ජනාධිපති නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

නීතිඥ මේජර් ට අවවාද

එවන් ප්‍රකාශ නොකරන ලෙසට මහේස්ත්‍රාත් වරිය අවවාද කළ බව නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළ අතර නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරන්නේ තමන් ජනමාධ්‍ය හමුවේ කියා සිටියේ විවෘත අධිකරණයේදී පැවසූ දේම බවයි.

ඔහු විසින් නීතිඥ වැලිඅමුණ හඳුන්වා දෙන ලද්දේ “විවිධ NGO වලට එකතු වෙලා අපේ රට බෙදන්න හදන කට්ටිය” ලෙසිනි.

පරීක්ෂණ මගහැර සිටින සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගැනීම පිණිස අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අධිකරණයට දැනුම් දී තිබුනේ සැකකාර නාවික හමුදා නිලධාරියා මුහුදු මගින් විදේශ ගතවී ඇතැයි විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවයි.


ගාමිණී  නම් නාවික හමුදා නිලධාරියකු පුද්ගලයන් අතුරුදහන් කිරීමට සැකකෙරෙන අටවැනියා ලෙසින් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

ගන්සයිඩ් මළ සිරුරු

සාක්ෂිකරුවකු වන ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර 2009 මාර්තු මාසයේදී ලබා දුන් කටඋත්තරයක සඳහන් වන්නේ ගාමිණි නම් නාවික හමුදා නිලධාරියකු ත්‍රිකුණාමලයේ ‘ගන්සයිඩ්’ භූගත සිර කඳවුරේදී ඉටි කවර වල ඔතන ලද මළ සිරුරු බව‍ට සැක කළ හැකි දේ කැබ් රථයකට පටවනු දුටු බවයි.

රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ඩිලාන් මොහොමඩ්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් 2008-2009 කාල වකවානුවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ අනිකුත් නාවික හමුදා නිලධාරීන් හත් දෙනා මේ වනවිට සිටින්නේ ඇප ලබා නිදහස්ව ගොසිනි.

හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක, ලුතිනන් කොමදෝරු සම්පත් නිලන්ත  මුණසිංහ හෙවත් නේවි සම්පත්, ලුතිනන් කොමදෝරු රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් ගම්හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස සහ රාජපක්ෂ පතිරණගේ කිත්සිරි ඒ හත් දෙනාය.

ඔවුන් නිදහස ලබා සිටීම සම්බන්ධයෙන් මහත් කම්පාව පලකරන අතුරුදහන් තරුණයකුගේ මවක් පවසන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තමන් නොලද යුක්තිය බරපතල අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබන පිරිසකට කෙටි කලක් තුලදී ලැබී ඇති බවයි.

නාවික හමුදාව රඳවාගෙන සිටින තම දරුවන්ට අට අවුරුද්දක් තිස්සේ නිදහස ලැබී නැතත්, ඒ සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන්ට හය මාසයක් තුලදී නිදැල්ලේ හැසිරීමට අවසර ලැබීම කවර සාධාරණයක්දැයි ජෙනිෆර් වීරසිංහ මාතාව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළාය.

Related posts

Comments are closed.

Top