“බැඳුම්කර ගනුදෙනුවෙන් ආණ්ඩුවට අලාභයක් නෑ” අගමැති | VIDEO

ජනාධිපති විමර්ශනයකට තුඩුදුන් මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කිසිදු අලාභයක් වී නැතැයි අගමැතිවරයා පවසන අතර වංචනිකව මුදල් උපයා ගත්තවුන්ගේ දේපල තහනම් කිරීම ඇතුළු නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉහල මට්ටමේ සාකච්ඡා අරඹා තිබේ.

 

බැඳුම්කර ගනුදෙනුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සතු පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගම අයුතු ලෙස රුපියල් කෝටි 920 ක් උපයාගෙන ඇති බව  මහ බැංකු  බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති  විමර්ශන කොමිසන් සභාව විසින් හෙළි කොට ගෙන තිබුනි.

 

පසුගිය දෙසැම්බර් 30 දා ජනාධිපතිවරයා අතට පත් කරන ලද  බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම පිළිබදව අංශ ගණනාවක් යටතේ රජය පියවර ගැනීමට යන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

 

ඒ සඳහා නීතිපති, මහබැංකු අධිපති, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් සමග ජනවාරි 17 සිට සාකච්ඡා ආරම්භ කර ඇති ජනාධිපති මෛත්‍රි පාල සිරිසේන පවසා ඇත්තේ වන්දි හා අලාභ අය කරගැනීම සඳහා අලුතින් නීති සකස් කිරීම කෙරේ අවධානය යොමුවී ඇති බවයි.

නීති සංශෝධන

 

“රජයට අයවිය යුතු අලාභය සහ වන්දි අය කර ගැනීම සදහා සිවිල් නඩු පැවරීම නිර්දේශ කර ඇති මුත් සිවිල් නඩු සදහා දිගු කාලයක් ගතවන බැවින් මෙවැනි නඩු සදහා සිවිල් නඩු විධිවිධාන කාර්ය පටිපාටියෙහි යම් සංශෝධනයක් ගෙන ඒම පිළිබද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇත,” යි ජනාධිපති කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

“එහිදී, දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල සහ වෙනත් තැනැත්තන් විසින් බැදුම්කර ගනුදෙනු හරහා නීත්‍යානුකූල නොවන ලෙස එකතුකර ගන්නා ලද දේපළ අප‍්‍රමාදීව තහනමට ලක් කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.”

 

කෙසේ වෙතත්, අගමැතිවරයා කියා සිටින්නේ බැඳුම්කර ගනුදෙනුව මගින් නීති විරෝධී ලෙස  පර්පෙචුවල් ට්‍රේෂරීස් අත් කරගත් යුතු ලාභය ආපසු අය කර ගැනීමට දැනටමත් හැකියාව ඇති බවයි.

 

සල්ලි ගන්න පුළුවන්

 

“මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා,” ජනාධිපති විශේෂ සාකච්ඡා ආරම්භ කළ දාට පසු දින  අගමැති රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ නිවේදනයක දැක්වේ.

 

“ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්.  අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.  එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.”

 

එමෙන්ම බැඳුම්කර වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවට අගමැතිවරයා සහතික වෙයි.

 

“සිදුව ඇති අපරාධ පිළිබද වැඩිදුර විමර්ෂණය කිරීමේදී නීතිපතිතුමාගේ උපදෙස් ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහ විනිමය පාලකවරයාගේ සහයෝගය ලබාගැනීම ද නිර්දේශ වී ඇති අතර, ශී‍්‍ර ලංකා මහ බැංකුව මාර්ගයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමට ද නිර්දේශ වී තිබේ,” යි ජනාධිපති කාර්යාංශය පවසයි.

කෝප් කමිටු මන්ත්‍රී ගනුදෙනු  

 

රාජ්‍ය ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කමිටුව හෙවත් කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් ඇතැමකු බැඳුම්කරය ගැන විමර්ශන පැවැත්වෙන සමයේ අර්ජුන් ඇලෝසියස් සමග සබඳතා පවත්වා තිබෙන බවද කොමිසමේ හෙලිදරව්වකි.

 

“එම විෂමාචාර හැසිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කතානායකතුමාගේ අවධානය යොමු කෙරෙනු ඇති අතර. එම කමිටුවෙහි මන්තී‍්‍රවරු හට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි ද කතානායකතුමාගේ අවධානය යොමු කිරීමට නිර්දේශ කෙරි තිබේ,” යි ජනාධිපති කාර්යාංශය පවසයි.

 

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වේ නම්,  ඔවුන් පිළිබඳව විමර්ශනයක් කිරීමට විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවද අගමැති රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේ සඳහන් කොට තිබේ.

 

සම්පුර්ණ වාර්තාව නැද්ද?

 

මේ අතර දිවයිනේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පවසන්නේ ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් බවයි.

 

වාර්තාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලද්දේ ජනවාරි 17 දාය.

 

එම වාර්තාව අංග සම්පූර්ණ නැතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය කතානායක වරයාට දැනුම් දී තිබේ.

 

“එම වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ සලකුණු කළ ලේඛන’ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව මාගේ විශ්වාසය යි,” යනුවෙන් කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් ලියා ඇති ලිපියක සඳහන් වෙයි.

Related posts

Comments are closed.

Top