ආණ්ඩුවේම කොමිසම් ගැන ජනපති, අගමැති දක්වන නොසැලකිල්ල “කලකිරවන සුළුයි”

රජය විසින්ම පත් කරන ලද කොමිසම් වල නිර්දේශ පවා නිසියාකාර ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නොදක්වන බවට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක විවේචනයට ලක්වී තිබේ.

ලෝකයේ විවිධ රටවල් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය අවුරුද්දේ කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තාවක් නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය (HRW) රජය විසින් පත් කරන ලද ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පසුගිය වසර මුලදී භාරදුන් වාර්තාවේ නිර්දේශ ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් නොසලකා හැරීම හඳුන්වා දී ඇත්තේ “කලකිරවන සුළු” ප්‍රතිචාරයක් ලෙසිනි.

ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම ගේ ප්‍රධානත්වයෙන් යුත් සිවිල් සමාජ ක්‍රියාධාරීන් සමුහයකගෙන් සැදුම් ලත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) 2016 මුල සිට පැවැත්වූ දීපව්‍යාප්ත මත විමසීමකින් අනතුරුව සම්පාදනය කරන ලද නිර්දේශ ඇතුලත් වාර්තාව රජය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් භාරගන්නා ලද්දේ 2017 ජනවාරියේය.

“ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මේ වාර්තාව ප්‍රසිද්ධියේ භාර නොගත් අතර එය එතැන් පටන් මලානික වෙමින් යන්නේ ආණ්ඩුවේ කිසිදු අවධානයක් නොලබාය,” යි HRW නිව්යෝර්ක් නුවරින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

“2017 ජනවාරියේ සිට ආණ්ඩුව වාර්තාව කෙරේ දක්වා ඇති ප්‍රතිචාරය කලකිරවන සුළුය. විශේෂ අධිකරණයට විදේශිකයන්ගේ දායකත්වයක් තිබිය යුතු බවට එන නිර්දේශය ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය වරුන් විසින් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ කරුණ ජනපති, අගමැති දෙපලම විසින් ප්‍රසිද්ධියේ නැවත තහවුරු කරන ලද අතර ‘රණවිරුවන්’ ට දඬුවම් කිරීමට ආණ්ඩුව ඉඩ නොතබන බවට වැඩිදුරටත් අවධාරණය කරන ලදී.”

ජිනීවා පොරොන්දු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ගිවිසගත් පරිදි සත්‍යය, සංහිඳියාව සහ අතීත කෙලෙසීම් සඳහා වගඋත්තර දීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ නොකිරීම ගැන HRW වාර්තාවෙන් විස්තර කොට තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන් සොයා ගැනීම සඳහා යෝජිත අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) ක්‍රියාත්මක නොකිරීම, මානව හිමිකම් ආරක්ෂා වන පරිද්දෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නීති සම්පාදනය සහ අත් අඩංගුවේ දී වධ හිංසා හා ලිංගික හිංසන සිදුකරන පොලිස් හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීම ඒ අතරින් කිහිපයකි.

යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදෙන ලදුව අතුරුදහන් වුවන්ගේ ලැයිස්තුවක් එලි දැක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීමද HRW වාර්ෂික වාර්තාවේ විශේෂ අවධානයට යොමුවී තිබේ.

දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා වේගවත් සහ පලදායී පියවර ගන්නා ලෙස ජගත් මානව හිමිකම් සමුළුව 2017 සැප්තැම්බරයේදී ජිනීවා නුවර මුළුදුන් අවස්ථාවේ දී මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් කළ ඉල්ලීමද වාර්තාව නැවතත් සිහිපත් කර ඇත.

Related posts

Comments are closed.

Top