සංක්‍රමණිකයන් සා පිපාසාවෙන් මැරෙන්නට සලස්වන බවට එක්සත් ජනපදයට චෝදනා

 

දරාගත නොහැකි උෂ්ණත්වයෙන් පිඩා විඳින සංක්‍රමණිකයන් පිපාසයෙන් මියයෑමට ඉඩ සලසමින් සංක්‍රමණිකයන් සඳහා ඇරිසෝනා කාන්තාරයේ ඉතිරිව ඇති ජල බවුසර සහ අනෙකුත් සැපයුම් ආදිය එක්සත් ජනපද දේශසීමා රැකවලුන් විසින් දිගින් දිගටම විනාශ කර දමන්නේ යැයි මානව හිමිකම් සංවිධාන දෙකක් චෝදනා එල්ල කරයි.

නිලධාරීන් සිදු කළ මෙම කඩාකප්පල්කාරී ක්‍රියා, අනවසරයෙන් මෙක්සිකෝවේ සිට පැමිණෙන පුද්ගලයන් හට බාධා කිරීමේ සහ දඬුවම් කිරීමේ වෑයමක් බව ටක්සන් නුවර පදනම් කරගත් නෝ මෝ ඩෙත් සහ ලා කොලිසියොන් ද දුරශොස් හියුමනෝස් ආයතන විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

නිරිතදිග ටක්සන්හි පිහිටි සොනොරන් කාන්තාරයේ වර්ග සැතපුම් 800 ක් භුමි ප්‍රදේශයකදී 2012 මාර්තු සිට 2015 දෙසැම්බර් අතර කාලය ඇතුලත සතියකට දෙවතාවක් බැගින් 415 වතාවක් වතුර බූලි  විනාශ කර ඇති බව ස්වේච්ඡා සේවකයන් විසින් අනාවරණය කරගෙන ඇත.

එමඟින් ජල ගැලුම් 3586 කට හානි වී තිබේ.

එසේම පක්ෂීන්, ගවයන් සහ අනෙකුත් සතුන් ජල ගැලුම් 533 ක් විනාශ කර තිබෙන බව වාර්තාවේ සඳහන් ව ඇත.

ආහාර, රෙදි පෙරවිලි ආදිය විනාශ කර දැමීම සහ සේවාවේ නිරත ස්වේච්ඡා සේවකයන්ට හිරිහැර කිරීම පිළිබඳව ද දේශසීමා නිලධාරීන් වෙත චෝදනා එල්ල කරමින් සංවිධාන දෙක පවසන්නේ එය සැලසුම් සහගත ක්‍රියාවක් මිස “අපතයන් කිහිපදෙනකුගේ” ක්‍රියාවක් නොවන බවයි.

“සංඛ්‍යා ලේඛන විශ්ලේෂණ, වීඩියෝ සාක්ෂි සහ පෞද්ගලික අත්දැකීම් මත මේ ව්‍යසනකාරී යථාර්ථය අපේ කණ්ඩායම විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය මානුෂිය ආධාර සැපයෙන බොහොමයක් අවස්ථාවලදී,පුළුල් වශයෙන් සිදුවුණු මැදිහත්වීම් සඳහා එක්සත් ජනපද දේශසීමා රැකවලුන් වගකිව යුතුයි.”

 

දඩයම්කරුවන්, කඳු නගින්නන් සහ දේශසීමා හමුදා භට පිරිස් ද ආධාර කටයුතු සඳහා බාධා පැමිණවූ නමුත් ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් රේගු සහ දේශසීමා ආරක්ෂණ ඛණ්ඩයේ රැකවලුන් මේ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව මානව හිමිකම් සංවිධාන විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් ටක්සන් අංශයේ මායිම් රක්ෂක ප්‍රකාශක ස්ටීව් පාස්මන් ප්‍රකාශ කර ඇත්තේ ජලය හෝ ආහාර විනාශ කිරීම හෝ අපහරණය කිරීම සිය කාර්යාංශය විසින් අනුමත නොකරන බවයි.

“එහි සිටින කිසි කෙනෙක් මිය යනවා දකින්න අපිට අවශ්‍ය නැහැ. අපි අපට පැවරී ඇති රාජකාරිය ඉටු කළ යුතුයි. ඒ වගේම අප එය සිදු කළේ හැකිතාක් මානුෂිකවයි. අපිට අවශ්‍ය ජිවිත බේරා ගැනීමටයි.”

එසේම නිලධාරීන් විසින් මානුෂීය සැපයුම් කඩාකප්පල් කළ බව දැක්වෙන සාක්ෂි මෙම වාර්තාව නිකුත් කළ සංවිධාන සතු වෙතොත් ඔවුන් වහාම “එය අපගේ අවධානයට යොමු කළ යුතු” බව වැඩිදුරටත් ඔහු පවසා ඇත.

දේශ සිමාවේ සිදුවූ මරණ සහ අතුරුදහන් වීම් පිළිබඳව කොටස් තුනකින් සමන්විත ප්‍රකාශනයක දෙවැනි කොටස ලෙස මෙම වාර්තාව එළිදැක්වුනි.

එහි පළමු කොටස පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ.

 

Related posts

Comments are closed.

Top