කළු නම් සිත්කළුය: අවපැහැ සමට ඇති බැඳියාව හමාර කරන්නට ගෙනයන අරගලය

 

චර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය ගගනට සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.


 

“එය ඇරඹෙන්නේ දරුවන් ලාබාල අවදියේ පටන්: මේ ලොව එලිය දුටු දා සිට, නෑ පරපුර දරුවාගේත් සොයුරු සොයුරියන්ගේත්  සමේ පැහැය සැසඳීමට පටන් ගන්නවා. එය ඇරඹෙන්නේ ඔබේ පවුල තුලින්මයි- නමුත් මිනිසුන්ට ඒ පිළිබඳව විවෘතව කතා කිරීමට වුවමනාවක් නැහැ.”

කවිතා එම්මානුවෙල් යනු “වුමන් ඔෆ් වර්ත්” නම් ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘවරියයි. එය ලා පැහැ ඡවි වර්ණය කෙරේ ඇති පක්ෂපාතිත්වයට එරෙහිව පෙනී සිටින සංවිධානයකි.

2009 දී ආරම්භ වුනු “කළු නම් සිත්කළු” ව්‍යාපාරය, “ධවල විරෝධී” ක්‍රියා කලාපයක් පෙරදැරි කරගත්තක් නොවේ, නමුත් වර්ණයකට එහා ගිය සුන්දරත්වයක් පිළිබඳව මෙමඟින් කියවෙන්නේ  යැයි ඇය පවසන්නීය. සුප්‍රකට පුද්ගලයන් පවා මෙම ව්‍යාපාරයට උපකාර කරයි, ඒ අතුරින් බොලිවුඩ් රංගන ශිල්පිනි නන්දිතා දාස් කැපී පෙනන දායකත්වයක් ලබා දී තිබේ. එමෙන්ම සමේ වර්ණය නිසා අපහසුතාවයට පත් වුණු අවස්ථා පිළිබඳව සිය පෞද්ගලික අත්දැකීම් හුවමාරු කරගැනීමට හැකි ඉඩකඩක් සපයා දීමටත් මෙහිලා කටයුතු සැලසී තිබේ.

මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ වැඩමුළු සහ වර්ණවාදයට එරෙහි වීමට උපදෙස් සැපයෙන නීතිවේදී වැඩසටහන් “කළු නම් සිත්කළු”  ව්‍යාපාරය මඟින් ක්‍රියාත්මක වේ.

එපමණක් නොව පින්තුරයක සිටින සුදු සමක් ඇති දැරිවිය රූමතියක් ලෙසත් අඳුරු පැහැ සමක් ඇති දැරිවි අවලස්සන ලෙසත් හැඳින්වෙන පෙළ පොත් තුලින් පාසල් වලින්ද මෙය මතු විය හැකි බව එම්මානුවෙල් පවසන්නීය.

“මෙය ඔවුන්ට දැඩි ලෙස බලපාවි කියා සමහර දරුවන් ඇත්තෙන්ම කම්පාවට පත්වෙනවා, සමහරුන්ගේ ඇස් වැඩමුළු අතරතුර දී  කඳුලින් පිරෙනවා”

බොලිවුඩ් රංගන ශිල්පිනි නන්දිතා දාස්

 

රුපලාවන්‍ය නිෂ්පාදන

මිනිසුන්ගේ බුද්ධි කලම්බනයට සහ ඔවුන් අතරට ගෙන යන පණිවිඩය  ලෙස යොදා ගනු ලැබුවේ ‘පරිපුර්ණ සමකින් පරිපුර්ණ ජිවිතයක්, ඒත් හරි පැහැයෙන් යුත් අයට පමණයි’ යන පාඨයයි. මෙමඟින්, සමාජය වෙත විවිධාකාර බලපෑම් එල්ල කරන සහ සෞඛ්‍ය අවදානම් රැගත් රුපලාවන්‍ය ආලේපන -එනම් සම සුදු කිරීමේ නිෂ්පාදන, රසායනික ප්‍රතිකාර, ලේසර් ප්‍රතිකාර, විටමින් සහ හෝමෝන පාන, සුදු වීමේ පෙති සහ එන්නත්- බිහිකරන විලාසිතා කර්මාන්තය, ඩොලර් බිලියන ගණනින් මුදල් උපයයි. එය වර්ණවාදයට එහා ගිය දෙයකි, භයානක සංස්කෘතික ඈලියාවකි.

බහුජාතික රුපලාවන්‍ය නිෂ්පාදන ඉතා ලාභදායි වෙළඳපොලවල් ග්‍රහණය කරගෙන තිබේ: ග්ලෝබල් ඉන්ඩස්ට්‍රී ඇනලිස්ට්ස් නම් පර්යේෂණ ආයතනය විසින් 2017 ජුනි මස නිකුත් කළ වාර්තාවකට අනුව 2024 වනවිට සම සුදු කිරීම සඳහා නිෂ්පාදන වියදම් ඩොලර් බිලියන 31.2 දක්වා තෙගුණයකින් ඉහල දමනු ඇතැයි අනාවැකි පළකර ඇත.

“අඳුරු සම අපකීර්තිය ළඟා කරන බවටත් පුද්ගලික සාර්ථකත්වය හා සුන්දරත්වය සුසුදු සමැති තැනැත්තියක් ළඟ රඳා පවතින බවටත් සංස්කෘතිය තුල මුල් බැස ඇති දෘඩ හැඟීම,” ව්‍යාපාරවල ඉදිරි ගමනට දායකත්වයක් සපයන බව වාර්තාවෙන් අනාවරණය කෙරේ.

“මෙය පක්ෂග්‍රාහී වීමක් නොවේ. මෙය වර්ගවාදයක්,” යනුවෙන් කනෙටිකට් සරසවියේ මානව සංවර්ධනය පිළිබඳ මහාචාර්ය සුනිල් භාටියා පවසයි. මුල් බැසගත් අභ්‍යන්තරික වර්ගවාදය සහ සමේ වර්ණය මත පදනම් වුනු සමාජ ධුරාවලින් සම්බන්ධයෙන් ඔහු මෑතකදී US නිව්ස් සහ වර්ල්ඩ් රිපෝට් වෙත ලීවේය.

පුරාණ හින්දු ධුරාවලිය අනුව පුද්ගලයකුගේ උපතේදී රැකියාව සහ සමාජ තත්වය තීරණය කෙරෙන ඉන්දීය කුල ක්‍රමය තුල උක්ත කරුණ දක්නට ලැබුණි.

හින්දු ක්‍රමයේ වර්ණවාදය

මුදුණන් වූ බ්‍රාහ්මණයන් හැඳින්වුණේ පුජකයන් හා බුද්ධිමතුන් ලෙසිනී. යටිපෙලේ සිටින පුද්ගලයන් හට හිමි වුයේ කිසිවෙක් ප්‍රිය නොකරන වැසිකිලි පිරිසිදු කිරීම වැනි රැකියා ය. කුලය සමහරවිට රැකියාවට එහා ගිය දෙයක් හෙළි කරන බව භාටියා පවසයි: ඔබ කෙතරම් අඳුරු පැහැ ගන්නේ ද එතරම් ඔබේ සමාජ තත්වය පහත බසිනු ඇත.

සුසුදු සමක් සඳහා ඇති නැඹුරු බව යටත් විජිතවාදය විසින් ස්ථාවර කොට ශක්තිමත් කිරීම, ඉන්දියාවේ පමණක් නොව යුරෝපියන් අතින් පාලනය වුනු රටවල් ගණනාවකටම අදාල වේ. පාලකයා සුදු සමක් ඇති තැනැත්තෙක් වීම මෙහි දල අදහස බව එම්මානුවෙල් පවසන්නීය. “ධනවත් කෙනකුට නිවෙස් තුලට වී සිටීමට හැකි වීමත් දුප්පතුන් පිටත රැකියාවෙහි නිරත වීමත් එසේ රැකියා කරන්නන් අඳුරු සමැති උදවිය වීමත් යන්න ලොව පුරා බල පැවැත්වෙන කාරණයක්.”

වර්තමානයේදී ගෝලීයකරණය විසින් පක්ෂග්‍රාහී බව ව්‍යාප්ත කරනු ලබයි. “සුදු නිරූපිකාවන්ගෙන් විචිත්‍රවත්ව එක්සත් ජනපදයේ සිට අනෙක් රටවල සාප්පු සංකීර්ණ වෙත ගලායන ආකර්ශනීය සුදු පැහැයක් තිබෙනවා ,” යැයි භාටියා පවසයි. “යටත් විජිතවාදය, පශ්චාත් යටත් විජිතවාදය සහ ගෝලීයකරණය ඈඳෙන රේඛාව ඔබට සොයාගත හැකියි.”

 

සුසුදු සම ඇතුළු, බටහිර රුපලාවන්‍ය පරමාදර්ශ සියල්ලම ලොව පුරා ආධිපත්‍ය පතුරුවා ඇත. මෙම පරමාදර්ශ පෙරදැරි කරගනිමින් ඒවාට සේවය සැපයීම සඳහා නිෂ්පාදන ද පැමිණේ. නයිජීරියාවේ කාන්තාවන්ගෙන් 77% ක් සම සුදු කරන ආලේපන භාවිත කරයි. ටෝගෝ වල එය 59% කි. නමුත් විශාලතම සහ සීඝ්‍රයෙන් වර්ධනය වන වෙළඳපොලවල් පිහිටා ඇත්තේ ආසියා ශාන්තිකර කලාපිය රටවල් තුලය.

සුප්‍රකට වෙළඳ සන්නාම නියෝජනය කරන ‘වයිට්නින්ග්’ මොයිස්චරයිසර් හෝ ‘ලයිට්නින්ග්’ බොඩි ක්‍රීම් වැනි රුපලාවන්‍ය නිෂ්පාදන සඳහා ඉන්දියාවේ සාමාන්‍ය සුපිරි වෙළඳ සැලවල වෙනම අංශයක්  වෙන් කර ඇත.

වෙනසක් නොවේ විරූපී බවක්

මුම්බායි හි වෙසෙන 27 හැවිරිදි පුජා කන්නන්, සිය සම ආලෝකමත් කරන බවට සහතික දුන් රුපලාවන්‍ය නිෂ්පාදන වසර ගණනාවක් තිස්සේ මිලදී ගත්තාය. “සමෙහි පැහැය පිළිබඳ ගැටළු” සඳහා ප්‍රතිකාර කරන බව පැවසෙන ක්‍රීම් වර්ග, ෆේස් වොෂ් සහ සබන් මිලදී ගැනීමට දෙමසකට වතාවක් ඉන්දීය රුපියල් 200 ක් 300 ක් වැය කළාය. ඇගේ පාසල වෙත ගමන් කිරීමට සතියකට ඇයට වියදම් වන මුදල් ප්‍රමාණය ද ඒ හා සමාන වේ. එම නිෂ්පාදන භාවිතා කර සිව් වසරක් ඉක්ම යන තැන සිය සම යන්තම් පාට වැටුණු බව පුජා පවසන්නීය. ඒ මුහුණේ ආලේප කරන ක්‍රීම් නිසා ද නැතිනම් හිරු එළියට නිරාවරණය නොවෙන්න පරිස්සම් වූ නිසාදැයි ඇය කල්පනා කරන්නීය.

පුජාගේ ස්වභාවික සමේ වර්ණය නිරෝගිමත් තලෙළු පැහැයකි. නමුත් හැදෙන වැඩෙන වයසේදී  පුජාගේ නැන්දණියන් ඇගේ සම ගැන පල කර ඇත්තේ නොසතුටකි. ඥාතීන් සහ යහළුවන්ට ඇය වෙත අවවාද ලබා දීමට සමේ දුඹුරු පැහැය හේතු වී තිබුණි.

“ඔයා කළු වෙලා,” ඔවුහු පවසති. ඉන්දියාව තුල, සමේ වර්ණය බොහෝ විට සාර්ථකත්වය නිශ්චය කරයි. එය රැකියාවක් හෝ විවාහයක් සඳහා බලපායි. තමන්ට අනාරක්ෂිත හැඟීමක් දැනුනු බව පුජා පවසන්නීය.

“මම ලෑස්ති වෙලා එළියට යන්න හදනකොට, මට ඔවුන් කියන දේ මතකයට එනවා, ඉතින් මම වැඩිපුර මේකප් පාවිච්චි කරනවා.” පුජා නර්තන ශිල්පිනියකි. ප්‍රසංග වලදී ද ඇයට වෙන් කොට සලකන බව පුජා පවසන්නිය. “ලස්සන, සිහින් වගේම සුදු ගැහැණු ළමයි වේදිකාවේ ඉදිරියෙන් හිටවනවා,” ඇය පැවසුවාය.

සිනමාපට, රුපවාහිනී වැඩසටහන් මෙන්ම විශේෂයෙන් දැන්වීම් මඟින් පක්ෂග්‍රාහී බවට තවත් උල්පන්දම් දෙයි.

ලැන්කොමේ’ස් බ්ලොන්ක් එක්ස්පර්ට් ලයින් වෙනුවෙන් ආසියාතික දැන්වීමක් සඳහා පෙනී සිටීමෙන් පසු ඇති වූ විවේචන වලට ප්‍රතිචාර දක්වමින් හැරී පොටර් රංගන ශිල්පිනි එමා වොට්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් 2016 දී කියා තිබුනේ “සියලු කාන්තාවන්ගේ විවිධත්වයෙන් සපිරි සුන්දරත්වය හැමවිටම පිළිබිඹු නොකෙරෙන” නිෂ්පාදන තමන් මින් මනතට අනුමත නොකරන බවයි.

(“සම පමණක් නොව සමේ පැහැය පවා ආලෝකමත් කරමින් නිරෝගී පෙනුමක් ලබා දෙනු ඇත. මෙවැනි නිෂ්පාදන සෑම සන්නාමයකින්ම අනුමත කෙරේ. එය ආසියාතික කාන්තාවගේ සුන්දරත්වය රැක ගැනීම සඳහා දිනපතා අවශ්‍ය අංගයකි,” යනුවෙන් ඒ සඳහා ප්‍රති උත්තරයක් ලබා දෙමින් “ලැන්කොමේ” අවධාරණය කර තිබුණේ නිෂ්පාදනයේ සම සුදු කිරීමේ ගුණ පිළිබඳව එතරම් ප්‍රමුඛත්වයක් ලබා නොදෙමිනි.)

 

රංගන ශිල්පිනි එමා වොට්සන්

 

අඳුරු පැහැ සමින් යුතු පුද්ගලයන් පහත් මට්ටමේ ලා සලකන දැන්වීම් ප්‍රචාරය ඉන්දීය දැන්වීම් ප්‍රමිති මණ්ඩලය විසින් 2014 දී තහනම් කරන ලදී. නමුත් එවැනි නිෂ්පාදන තවමත් අලෙවි කෙරේ. සම සුදු කිරීමේ ක්‍රීම් වර්ග ප්‍රවර්ධනය කරමින් ශාරුක් ඛාන්, ජෝන් ඒබ්‍රහම් සහ දීපිකා පදුකෝනේ වැනි සිනමා තාරකා පුවත්පත්, රුපවාහිනී සහ දැන්වීම් පුවරු ද අරක් ගෙන සිටිති.

නුතන රුපලාවන්‍ය ක්ෂේත්‍රය සතු එකම ගැලවුම සම සුසුදු කිරීම නොවේ. ඉන්දියානු සම්ප්‍රදායික ආයුර්වේදයේ එන පරිදි කොකුම් මිශ්‍ර කිරි, දොඩම්, මහදුරු සහ පොල් කැබලි ආහාරයට ගැනීමෙන් ගැබිණි මවකට සිය කුස තුල සිටින දරුවාගේ සමෙහි පැහැය වර්ධනය කරගත හැකිය.

සුදු විතරක්ද, උස?

අඳුරු පැහැ සමක් ඇති මිටි දෙමාපියන්ට පවා උස, පැහැපත් දරුවන් ලැබිය හැකි බව සඳහන් කරමින් දරුවකු අපේක්ෂාවෙන් සිටින ජෝඩු සඳහා ආයුර්වේද වෛද්‍යවරයකු විසින් මෙම වසර මුලදී කොල්කතාවේ සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී.

සුන්දර සහ පැහැපත් දරුවන් ලබා ගැනීම වෙනුවෙන් -විශාල මුදලක් පවා වැය කරමින්- දරුවන් නොමැති ජෝඩු, උදක්ම ඉල්ලීම් කරන බව ඉන්දීය කාන්තා සෞඛ්‍ය පුණ්‍යායතනයක් විසින් 2012 දී කළ අධ්‍යයනයකදී හෙළිකර ගෙන ඇත. දරුපල නොමැති කාන්තාවන් පවා මේ සඳහා ඉල්ලීම් කර ඇති බව ඔවුන් පවසයි.

පුවත්පත්වල මංගල තීරයේ තරම් සුසුදු සමට තැනක් ලැබෙන තවත් තැනක් නැත. අනාගත මනාලිය හෝ මනාලයා සතු විය යුතු කුලය, ආගම, රැකියාව සහ අධ්‍යාපනය යන සියලු සුදුසුකම් ඇතුළුව ඇයගේ හෝ ඔහුගේ ශරීර ලක්ෂණ ද එහි ඇතුලත් කර ඇත. සුදු සම ඇති කෙනකුට වැඩි වාසි හිමිවිය හැකි බව ඇතැමුන් එහි දක්වා තිබේ.

“මනාලියන් වීමට සිටින තැනැත්තියන් විශාල මුදලක් වැය කරනවා. විවාහයට පෙර මාසයේදී සීමාවක් නැතිවම මුදල් වැය කරනවා,” යනුවෙන් බැංගලෝරයේ රුපලවන්‍යගාරයක් පවත්වාගෙන යන පිලිපීන ජාතික එමා ට්‍රිනිඩෑඩ් පවසන්නීය. “මෙහි පැමිණි මුල් දිනවලදී, කෙනෙක්ගේ විවාහය සමේ පැහැය මත රඳා පවතින බව දැනගත් පසු මම පුදුමයට පත්වුනා. පිලිපීනයේ මේ වගේ නැහැ.”

කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද විවාහයට සුදානමක් වශයෙන් මංගල්‍යයට පෙර සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර සිදු කිරීම පොදු තත්වයක් බවට පත්වීමට තරම් බොහෝ දෙනකුගේ මනස හැඩ ගැසී ඇත.

කාර්තික් පන්චාපකේසන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුනේ 2001 දිය. “සම්පුර්ණ පෙනුමක්” හිමිකර දීම සඳහා වූ දැන්වීමක් දුටු ඔහු එය අත්හදා බැලීමට තීරණය කර ඇත්තේ කුතුහලය නිසාවෙනි.

 

“මින් පෙර කවදාවත් මම තනිවම සැලුන් එකකට ගිහින් නැහැ,” යැයි ප්‍රජා ගුවන් විදුලි ආයතනයක රැකියාවේ නිරත වන මාධ්‍ය විශේෂඥයා පැවසුවේය. “හිස සම්බහනයෙන් නම් සනීපයක් දැනුනා. ඉන්පසු ඔවුන් පලතුරු සහ මල් වලින් නිම කළ සුදු පාට තලපයක් මගේ මුණ පුරා නළලේ, කම්මුල්වල, නහයේ වගේම නිකටෙත් තැවරුවා.”

මිනිත්තු පහකින් පමණ පසු සිය ඇස් දැවිල්ල ගැනීමට පටන් ගත් බව කාර්තික් පවසයි. මිහිරි සුවඳ කටුක දුර්ගන්ධයක් බවට හැරෙනවාත් සමඟ ඔහුගේ නාසය අවට කැසීමට පටන් ගෙන ඇත. එම තලපය සඳහා ඇමෝනියා යොදා ගෙන ඇති බව ඔහු සැක කරයි. “රාබු වලට වඩා ඒක කටුකයි,” කාර්තික් පවසයි. එය අවසන් වූ පසු ඔහුගේ මුහුණ ටැල්කම් පුයර දැම්මාක් මෙන් පෙනී ඇත. “එය වෙනසක් නොවේ විරූපී බවක්.”

රුපලාවන්‍ය නිෂ්පාදන වල භයානකකම

බොහොමයක් සම සුසුදු කරවන ආලේපන සිය ඉලක්කය බවට පත් කරගන්නේ සමට, කෙස් වලට සහ ඇස් වලට පැහැය ලබා දෙන වර්ණකයක් හෝ මෙලනින් නිපදවීමට සමෙහි ඇති හැකියාව යි. මෙලනින් නිෂ්පාදනය කිරීමේ සෛල එක සමාන තරමේ සංඛ්‍යාවක් සෑම පුද්ගලයකුගේම සිරුරේ පිහිටා තිබුණ ද ජාන අනුව ඒවා නිපදවෙන ප්‍රමාණය වෙනස් වේ. ස්වභාවික මෙලනින් ප්‍රමාණය වැඩි වන තරමට අඳුරු සමක් ඇති පුද්ගලයකු සමේ පිළිකා තත්වයන්ට ගොදුරු වීමේ අවදානම අවම වන අතර හම රැලි වැටීම් ද  අඩු වේ.

සම සුදු කරවන ආලේප වලින් මෙලනින් නිෂ්පාදනයට බාධා පමුණුවයි. නැතිනම් සමෙහි සාමාන්‍ය පෝෂණ තත්වය යන්තමින් ඉහල නංවයි. මේ ආලේපන වල සෝයා, වැල්මී හෝ අර්බුටින් අඩංගු විය හැකිය,සමහරවිට හයිඩ්‍රෝකිනෝ වැනි බෙහෙත් ද්‍රව්‍යයක් සමඟ මිශ්‍ර කර තිබීමට පවා ඉඩ ඇත. (සෑම ආලේපනයකම මේවා අඩංගු නොවේ:  හයිඩ්‍රෝකිනෝ යනු පිළිකා කාරකයක් වේ. ඝානාව, දකුණු අප්‍රිකාව, අයිවරි කෝස්ට්, ජපානය,ඔස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල එය අඩංගු නිෂ්පාදන භාවිතය තහනම් හෝ සීමිත කර ඇති නමුත් ඒවා නීති විරෝධී අයුරින් තවමත් භාවිතයේ පවතී.)

සමහර සම සුසුදු කරන ක්‍රීම් සහ සබන් වල රසදිය පවා අඩංගු වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රසදිය නිසා මෙලනින් නිෂ්පාදනය අඩාල වේ. සම මඟින් අවශෝෂණය කරගෙන රසදිය සිරුරේ තැම්පත් වුවහොත් එමඟින් වකුගඩු සහ මොළයට ද බලපෑම් සිදු විය හැකිය.

රසායනික ද්‍රව්‍ය අඩංගු අනෙකුත් නිෂ්පාදන මඟින් සමෙහි ඉහලම ස්තරය ඉවත් කර -අහිතකර සුර්ය සහ පරිසර දුෂක ද්‍රව්‍ය වලට ඔබේ නැවුම් සම නිරාවරණය කරනු ඇත. සමේ වර්ණක බිඳීන ලේසර් ප්‍රතිකාරය, ඊට වඩා බොහෝවිට හානිදායි ප්‍රතිපල ඇති කරයි.

“ඉන්දියාවේ ගැහැනුන් සහ මිනිසුන් මත ලොකු බලපෑමක් ඇති කර තිබෙනවා,” යැයි සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජාතා චන්ද්‍රප්පා පැවසිය. “ඔවුන්ගේ ඔලු ඇතුලේ පරමාදර්ශී චරිත ගොඩ නැඟීලා තිබෙනවා.මොන දේ වුනත් එතැනට යන්න තමයි ඔවුන්ට ඕන. එය ඉතාම වැරදි සංකල්පයක්.”

 

ප්‍රියතම බොලිවුඩ් තරුවේ සමේ පැහැය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිතරම සේවාදායකයන් පැමිණෙන බව වෛද්‍ය සුජාතා පැවසුවාය. “ගැටලුව පවතින්නේ වර්ණය මත පමණක් නම් අනවශ්‍ය දෙයක් ගැන ඔවුන් නිකරුනේ කරදර වන බව මම එක හෙලාම පවසනවා. ඔවුන් වඩාත් දිරිමත් කළොත් වර්ගවාදය පතුරවන්න උඩගෙඩි දෙන බව මට හැඟෙනවා.”

ශානා මෙන්දියෝලා සම ලා පැහැ ගැන්වීම  වෙනුවෙන් මසකට රුපියල් 3200 ක මුදලක් වැය කරයි. ඉන්දියාවේ හැටියට ලොකු මුදලක් වුණත්,  ඇය බහුජාතික සමාගමක හොඳ වැටුපක් සහිත රැකියාවකට හිමිකම් කියන්නීය. මෙන්දියෝලා පිලිපීන ජාතික කාන්තාවක් නමුත් මේ වනවිට සේවය කරන්නේ බෙංගලාරුවේ ය. පසුගිය වසර පහක කාලයක පටන්ම තමන් පෙති බීමට පුරුදුව සිටින බව ඇය පවසන්නීය. ඇය මේවා භාවිත කරන්නේ සම සුදු කරගැනීම සඳහා පමණක් නොවේ. සමෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහල නංවා ගැනීම ද එහි තවත් අරමුණකි.

“මම වෙරළට යන්න හරිම කැමතියි. නිවාඩුවකට පස්සේ මට දැනෙන්නේ මම හරියට කළු වෙලා කියලා,” ඇය මට විද්‍යුත් පණිවිඩයක් මගින් පවසා සිටියාය. “සම සුදු කිරීමේ ද්‍රව්‍ය අඩංගු සම ආරක්ෂා කරන -ඒ කියන්නේ මගේ බොඩි ලෝෂන්, ෆේස් වොෂ් සහ මොයිස්චරයිසර් වගේ නිෂ්පාදන මිලදී ගන්න නිතරම මම කැමැත්තක් දැක්වුවා. සම පාට වුණ කෙනෙක් නම් පිලිපීනයේ දී ඔබට නිතරම මුල් තැන හිමිවෙනවා.”

මෙන්දියෝලා තමන් හඳුන්වා දුන්නේ මොරෙනා -සුදුත් නැති කළුත් නැති- පාටින්. පෙති පානය කරන විට සිය සමේ පැහැය ඉතා ඉක්මනින් එහි ස්වභාවික වර්ණයට හැරෙන බව ඇය පවසන්නීය. “සෞඛ්‍ය සම්පන්න, දිදුලන, මුළු සිරුරම එකම පැහැයක් ගන්න සමකට හිමිකම් කියන්න ලැබීම නිසා රැකියාවේදී, මිනිසුන් මුණගැසීමේදී මට මහත් ආත්ම විශ්වාසයක් ඇතිකරනවා.  අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ ඒක නෙවෙයිද?”

ඇය පාවිච්චි කරන පෙත්ත ග්ලුටතියොන්.  එය පාර ජම්බුල කිරණ වැනි සමට සහ එහි වර්ණක වලට හානි පමුණුවන අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා කිරීමට දායක වන, ස්වාභාවිකවම අක්මාවෙන් නිපදවෙන ප්‍රතිඔක්සිකාරකයකි.

ග්ලුටතියොන් එන්නත මිට වඩා සෘජු ප්‍රතිකාර ක්‍රමයකි. මෙය සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ පිළිකා සඳහා ප්‍රතිකාරයක් වන කීමෝ චිකිත්සාවේ පසු ප්‍රතිපල ලෙසින් ඇති වන ඔක්කාරය, කෙස් හැලීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි අතුරුප්‍රතිපල නවතා දැමීම සඳහාය. නමුත් සම සුදු කිරීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදා ගැනීමට ඇති පෙළඹීම ක්‍රමයෙන් ඉහල යාම නිසා මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය ද යොමු වී ඇත.

“අනවසරයෙන් ග්ලුටතියන් එන්නත් කරගැනීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි,” 2011 වසරේදී පිලිපීන ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය විසින් ප්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.

සමේ කුෂ්ට, තයිරොයිඩ් සහ වකුගඩු අක්‍රියවීම් සහ පිලිස්සී ගිය සම මෙන් සිරුරෙන් පොතු ගැලවී යන මාරාන්තික ස්ටීවන්-ජොන්සන් රෝග ලක්ෂණ පවා ඉන් පහල විය හැකි අහිතකර බලපෑම් අතරට අයත් යැයි ඔවුන් හුවා දක්වයි.

පාරිභෝගිකයන් සැලකිය යුතු මට්ටමේ අවදානමක පසුවන බව 2015 දී එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය විසින් අනතුරු අඟවන ලදී.  “ඔබ ඔබේ සිරුර තුලට එන්නත් කරගනු ලබන්නේ නොදන්නා ද්‍රව්‍යයක්- එහි අඩංගු දෑ පිළිබඳව හෝ එය නිපදවා ඇති දෑ පිළිබඳව ඔබ නොදැනුවත්.”

කෙසේ නමුත් මේ සඳහා පාරිභෝගික ඉල්ලුම වර්ධනය වෙමින් පවතී.  මෙන්දියෝලා පවා දෙවතාවක් ග්ලුටතියොන් සිය සිරුරට එන්නත් කරගෙන තිබේ. නමුත් වැඩිපුර භාවිතයට ගෙන ඇත්තේ පෙති වර්ගය.

වෛද්‍ය මුක්තා සච්දේව් බෙංගාලයේ සායනික සහ චර්ම රෝග විශේෂඥවරියකි. ඇය සිය රෝගීන්ගෙන් අඛණ්ඩව සිදු කෙරෙන ඉල්ලීම් මත පවා එන්නත් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන තැනැත්තියකි. “මම සාධක මත පදනම් වුණු චර්ම රෝග විද්‍යාව හැදෑරු අයෙක්, ග්ලුටතියොන් එන්නත් භාවිතය සඳහා රුකුල් සැපයීමට තරම් ප්‍රමාණවත් ලේඛණ  නැහැ.”

තනිවම බෙහෙත් එන්නත් කරගන්නේ කෙසේදැයි දැක්වෙන වීඩියෝපට වෙබ් අඩවි වල සුලබව දැකිය හැකිය.

“වෛද්‍ය විද්‍යානුකුලව නම් සදාකාලිකව සම සුසුදු කිරීමේ හැකියාවක් නැහැ- නමුත් එය එක හා සමාන මට්ටමකින් එය පවත්වාගෙන යා හැකියි,” යැයි සච්දේව් පවසන්නීය. ඇත්ත වශයෙන්ම ඇගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහොමයක් වෙනත් සම සුදු කිරීමේ ප්‍රතිකාර ක්‍රම මඟින් ගැටළු වලට පිළිතුරු සොයමින් සිටියි. මුලිකවම ස්ටෙරොයිඩ් ක්‍රීම් භාවිතයෙනි.

ඇබ්බැහි වීම

සම මත ආලේප කිරීම සඳහා සුදුසු කෝටිකෝස්ටේරෝයිඩ්ස් වර්ග අවම වශයෙන් 18 කට ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇත. එසේම සමේ වර්ගය අනුව ඒවා අනු පිළිවෙලට වෙන් කර තිබේ. ඉන් එක ටියුබයක මිල සාමාන්‍යයෙන් ඉන්දීය රුපියල් 230ක් පමණ වේ. බෙහෙත් තුන්ඩුවක් නැතිව පවා රට පුරා පිහිටා ඇති බහුතරයක් ඖෂධ හල් වලින් මේවා ලබා ගත හැක.

වගවිභාගයකින් තොරවම මිනිසුන් මේවා භාවිත කරන්නේ සුසුදු සමක් ලබා ගැනීමට හෝ කුරුලෑ බිබිලි අවම කරගැනීමටය.  නමුත් ආරක්ෂාව පිණිස නිර්මාණය වී ඇති සමේ බාහිර ස්තරය ස්ටෙරොයිඩ් ක්‍රීම් නිසා ඉවත්ව යයි. එවිට පාර ජම්බුල කිරණවලට සහ වායු වර්ග, සිගරට් දුම වැනි පරිසර දුෂක වලට නිරාවරණය වීමේ ප්‍රවණතාවය ඉහල යනු ඇත. නමුත් එයට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ ඊටත් වඩා භයානක තත්වයක් බව චර්ම විශේෂඥ වෛද්‍ය ශ්‍යමන්තා බරුආ පවසයි.

“රෝගියා ක්‍රීම් පාවිච්චි කරන එක නැවැත්තුවට පස්සේ සම ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා. සම කසන්න, සම මත කුෂ්ට ඇති කරන්න බලනවා,” යැයි ඔහු පවසයි. “ඉතින් රෝගියා නැවතත් ක්‍රීම් එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. එය ඉතාමත් විෂම චක්‍රයක්. ඔවුන් මානසිකව ඊට ඇබ්බැහි වෙනවා.” මත්ද්‍රව්‍යට හෝ මත්පැනට ඇබ්බැහි වුවන්ට මෙන් ඔවුන්ටද උපදේශන ලබා දිය යුතු බව ඔහුගේ මතයයි.

“දිලීර ආසාදන නිසා පිඩාවට පත් වූවන්ගෙන් 70-90% ක් ප්‍රතිකාරය වශයෙන් ස්ටෙරොයිඩ් ක්‍රීම් භාවිත කිරීමෙන් පසු සති දෙකක කාලයක් තුලදී එහි ප්‍රතිපල ලැබුණා. ඒත් දැන් එම ප්‍රමාණය මෙන් සිව් ගුණයක් වැඩිපුර, සති 8 ත් 12 අතර කාලයක් දක්වා බෙහෙත් අපි ලබා දිය යුතුයි. එය රට පුරා වසංගතයක් බවට පත්වෙලා ” යැයි රුපලාවන්‍ය චිකිත්සක වෛද්‍ය රජිතා දමිසෙට්ටි පවසන්නීය.

ආකල්පමය වෙනසක්

වර්ණවාදයට එරෙහිව දියත් කළ ව්‍යාපාරයක් උදෙසා සටන් වැදීම යනු වැරදි වෛද්‍ය ප්‍රතිකාර සහ රුපලාවන්‍ය පුරුදු වලට විරෝධය පෑමට එහා ගිය දෙයකි.  සුදු සමට වැඩි ඉඩක් සපයමින් වසර දහස් ගණනක් තිස්සේ පැවත එන ආකල්ප වෙනස් කිරීම උදෙසා ඔවුන් සටන් වදී.

වුමන් ඔෆ් වර්ත් හි නිර්මාතෘ එම්මානුවෙල් සර්වශුභවාදී ය. කවරදාටත් වඩා මේ අර්බුදය සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් වී සිටින බවත් ඉන්දියාව තුල පමණක් නොව සමස්ත ලෝකයම නියෝජනය කරන ඊළඟ පරම්පරාව කරුණු කාරණා වෙනස් විදියකට දකිනු ඇති බවත් ඇයගේ විශ්වාසයයි.

 

Related posts

Comments are closed.

Top