වම් ඉවුරේ සිනමාවේදී පතී දිවියෙන් සමුගනී

දෙස් විදෙස් කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාවේදියකු වන  ධර්මසේන පතිරාජයන් 28 ඉරිදා  මහනුවර දී අභාවප්‍රාප්ත  වී ඇත.

1943 මාර්තු 28 වැනි දින මහනුරව දී උපත ලැබූ හෙතෙම මහනුවර පුද්ගලික රෝහලක දී මියයන විට 74 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්යවරයකු ද වූ ධර්මසේන පතිරාජ  ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපධිධාරියකු වන අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි.

එමෙන්ම ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිප්සතර හැදැරුවෙකි.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ධර්මසේන පතිරාජ 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.

ඉන් අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරයෙක් ලෙස ද ඔහු සේවය කර තිබේ.

1974 අහස්ගව්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ  එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, ස්වරූප සහ සක්කාරං යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත.

අදුරෙන් එළියට, වෙරළ, Putting the last first, Shelter for million families, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස සහ A Road to sampur යන වාර්තා චිත්‍රපට ද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍ය ද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ  විසිනි.

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද ධර්මසේන පතිරාජ  අතින් නිර්මාණය විය.

ඒ අතර ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නිහාමිලාගේ කතාව, සුදුබණ්ඩලාගේ කතාව, පුර සක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නන්නාඳුනන පුත්තු, දුර්ගාන්තය සහ කම්පිත විල් යන නාට්‍ය ප්‍රමුඛ තැනක් ගනී.

1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේ දී  ඇල්ල ළඟ වලව්වට හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූ අතර 1991 දී පැවති එම සම්මාන උළෙලේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.

ආචාර්ය ධර්මසේන පතිරාජ කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂවරයා  ලෙස ද  සිය සේවය  ලබා දී ඇත.

 

Comments are closed.

Top