ඇඟ ලොකුම සතා හා ගැටෙන මොලේ ලොකුම සතා

මිහිපිට ජීවත්වන බුද්ධිමත්ම සත්වයා මිනිසා ලෙස හදුන්වද්දී මිහිපිට ජීවත්වන විශාලතම සත්වයා ලෙස කවුරුත් හදුන්වන්නේ අලියා.

ලංකාවේ ඉතිහාසය දිහා හැරිලා බලනකොට සමාජආර්ථිකදේශපාලනසංස්කෘතික කියන සෑම අංශයක් එක්කම අලියා බැඳිලා ඉන්නවා. කොහොම උනත් පසුගිය දවස්වල අලි ඇත් කතා වැඩි වශයෙන් අපේ සමාජයේ කතා බහට ලක් උනා.

රටක් ආදරය කරපු ගල්ගමුවේ දළ පුට්ටුවාගේ ජීවිතය ලෝකයේ බුද්ධිමත්ම සත්වයා අතින් විනාශයට පත් වෙනකොට අපේ පරිසරය අලංකාර කරපු තබ්බෝවේ ඇතා,  රිටිගල ඇතා මියගොස්  ඇති බවත් වාර්තා උනා.

ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට කතිර දළ ඇතා සහ මහසෙන් දළ ඇතා අතුරුදහන්ව ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

තිරසර සංවර්ධන හා වනජීවී සංරක්ෂණය භාර අමාත්‍යාංශය නම් කියන්නේ  අතුරුදහන්ව ඇති බවට කටකතා පැතිරයන  දීඝ ජන්තු සහ වේවැල් දළයා යන ඇතුන්  උපද්‍රවයකින් තොරව ජීවත්වන වෙනවා කියලයි.

ඒ විතරක් නෙමෙයි මේ දවස්වල ගල්ගමුවේ තනි දළයත් පුවත් මවන ඇතෙක් බවට පත්වෙලා.

අපේ රට ඇතුළු කලාපයේ රටවල් 13 කම ඉන්නේ ආසියානු අලියා. අප්‍රිකාවේ වර්ග දෙකක් ඉන්නවා. ඒ සැවානා තෘණ භුමි වල වාසය කරන සහ වනාන්තර වල ජීවත් වන අලි.

අප්‍රිකාවේ ජීවත් වන අලින්ගෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සියයට සීයක්ම දළ පිහිටලා තිබ්බත් වාසනාවකට හෝ අවාසනාවට අපේ රටේ දළ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණයි. ඒකත් සියයට එකත් හතරත් අතර ප්‍රමාණයක් කියලා තමයි පරිසරවේදීන් කියන්නේ.

දළ තිබ්බත් නැතත් අලි කියන්නේ රටට සම්පතක්. ලංකාවේ නිවැරදි ක්‍රමවේදයකට අනුව අලි සම්බන්ධයෙන් සංගනයක් කරලා නෑ කියලා පරිසරවේදීන් චෝදනා කරද්දී 2011 වසරේ කරපු සංගණනයත් දෝස සහිතයි කියලා තමයි පරිසරවේදී සජීව චාමිකර කියන්නේ.

ඔහු කියන විදිහට පරිසරවේදීන්  වනජීවි කලාප අනුව කරපු සමීක්ෂනයකට අනුව ලංකාවේ ජීවත්වන වන  අලි ප්‍රමාණය 4500 ක් විතර. එයිනුත් ඇතුන් ඉන්නේ 150 ත් 200 ත් අතර  කුඩා ප්‍රමාණයක්.

බැලු බැල්මට ලංකාවේ අලි ගහනය එතරම් විශාල නොවුනත් අලි මිනිස් ගැටුම් නම් දවසගානේම වාර්තා වෙනවා.

පරිසරවේදී සජීව චාමිකර කියන විදිහට වයඹ පළාතේ තමයි  අලි මිනිස් ගැටුම් වැඩිපුරම වාර්තා වෙන්නේ. වයඹ පළාතේ වනාන්තර ප්‍රමාණය අඩු වීමත් තියන වනාන්තර ප්‍රමාණය ඛණ්ඩනය වී තිබීමත් ඒකට හේතුවක්ලු.

1990 ඉදලා 2000  වෙනකම් ගතවුන වසර දහය තුළ වසරකට අලි මිනිස් ගැටුම් නිසා අලි 150 දෙනකුට ජීවිතය අහිමි වෙද්දී මිනිස් ජීවිත 40 ක් අහිමි වෙලා තියනවා.

ඒ වගේම 2000 ඉදලා 2007 දක්වා ගෙවී ගිය වසර හත තුළ වසරකට අලි මිනිස් ගැටුම් නිසා අලි 200 දෙනකුට ජීවිතය අහිමි වෙද්දී මිනිස් ජීවිත 60 ක් අහිමි වෙලා තියනවා.

නමුත් 2007 ඉදලා 2017 දක්වා ගතවු වසර හත තුළ වසරකට අලි මිනිස් ගැටුම් නිසා අලි 280 දෙනකුට ජීවිතය අහිමි වෙද්දී මිනිස් ජීවිත 80 ක් අහිමි වෙලා තියනවා.ඒ කියන්නේ අලි මිනිස් ගැටුම උර්‍ග වෙලා.

පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන විදිහට වනාන්තර හරනයත් ඒ කියන්නේ වනාන්තර කුඩා වීමත් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිත් අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතු දෙකක්.

හම්බන්තොට වරායගුවන් තොටුපල,ක්‍රිකට් ක්‍රීඩාංගනයතුරග තරග පිටිය වගේම මහා මාර්ග සකස් කිරීමට හම්බන්තොට විතරක් අක්කර පහලොස් දහසක් යොදාගෙන තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මොරගහකන්දයාන් ඔය  සහ කලුගග වාරි ව්‍යාපෘති සදහා අක්කර විසි දහසකටත් වඩා යොදා ගැනීම නිසා අලින්ට තමන්ගේ නිජ භුමි අහිමිවෙලා තියනවා කියලා තමයි පරිසරවේදීන්නම් කියන්නේ.

වානිජ අරමුණු වෙනුවෙන් වනාන්තර එළි කර  වගා ආරම්භ කිරීමත් අලින්ට තම වාසස්ථාන නැති වෙන්න ප්‍රධාන හේතුවක්. ඩෝල් සමාගම වැනි බහු ජාතික සමාගම් කැවෙන්ඩිශ් කෙසෙල් වගාව සදහාත් තවත් පිරිස් බඩ ඉරිඟු සහ උක් වගාවන් සදහා වනාත්තර එලි පෙහෙළි කිරීම මේවාට නිදසුන් කිහිපයක්.

අපේ කල්පනාවට ආවේ නැතත් අලින්ට ආහාර සපයාගැනීමට ඇති තෘණ භුමි වලට මහා පරිමාන හරක් රංචු ඇතුල් කිරීමත් අලි මිනිස් ගැටුම්වලට හේතුවක් කියලා තමයි පරිසරවේදීන්නම් කියන්නේ.

උඩවලව,මාදුරුඔය  ආදී ප්‍රදේශවල මේ තත්වය දැක ගන්න පුලුවන් වගේම ලුනුගම්වෙහෙරේ මෙවැනි හරක් රංචුවල හරක් මී හරක් විසි දාහක් තිස් දාහක් විතර ඉන්නවා කියලා තමයි පරිසරවේදීන් කියන්නේ.

තවත් බරපතලම දෙයක් තියනවා. අපේ රටේ වනාන්තරවල ආක්‍රමණික ශාඛ පැතිරීම නිසාත් අලින්ට මහ වනයේ කෑම හිගවෙලා.

ලුනුගම්වෙහෙරඋඩවලව ජාතික උද්‍යාන වල ගඳපාන නැමති ආක්‍රමණික ශාඛය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙද්දි උඩවලවමාදුරුඔයගල් ඔය ජාතික වන උද්‍යාන වල ගිනිතණ කියන ආක්‍රමණික ශාඛය බෝ වෙලා.

ඒ විතරක් නෙමෙයි මින්නේරිය, වස්ගමුවවික්ටෝරියා-රන්ටැඹේ-රන්දෙනිගල අභය භුමි තුළ කටු උණ කියන ආක්‍රමණික ශාඛය පැතිරිලා.

මේ විදිහට බලනකොට අලි මිනිස් ගැටුමට අපට පේනවට වඩා හේතු සාධක තියනවා. ඒ නිසා අලි මරනවා වෙනුවට ගැටලුවලට විසදුම් සෙවීම අපි කාගේත් වගකීමක්.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියන විදිහට නම්  ලංකාවේ අලි ඇතුන් පවතිනා නීතිය මගින් සම්පූර්ණ ලෙස ආරක්ෂා කර තිබෙන බවයි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනත අනුව  අලි ඇතුන් දඩයම් කිරීමතුවාල කිරීමහෝ මරණයට පත් කිරීම සිර දඬුවම් ලැබීමට සහ ලක්ෂ ගණනින් දඩ ගැසීමට හේතු වෙනවා.

ඒ සඳහා යම් උපකරණයක් හෝ ද්‍රව්‍යයක් යොදා ගැනීමත් වරදක් වෙන මෙම පනතේ විසිවැනි වගන්තියට අනුව විදුලි සැර වද්දවා මරණයට පත්කිරීමක් වරදක් ලෙස දක්වා තිබෙනවා.

කොහොම උනත් අලි සම්බන්ධ වැරදි කරන පිරිසට  වලට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් නැති බව බොහෝ දෙනෙක් කරන චෝදනාවක්.

නමුත් අලි ඝාතකයන්ට ලබාදෙන දඩුවම වැඩි කිරීමට මේ වන විට රජය කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව යෝජනා කරලා තියන විදිහට අධිකරණයකින්  අලි ඝාතකයකු බවට ඔප්පු වන අයකුට දෙන්න හදන දඩුවම තමයි මරණ දඩුවම.

ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් මේ වන විට මරණ දණ්ඩනය තම තමන්ගේ නීති පොත්වලින් ඉවත් කරගෙන තියනකොට ලංකාව මරණ දණ්ඩනය තව දුරටත් ශක්තිමත් කිරීම කොච්චිර ප්‍රායෝගිකද කියන එක නම් ප්‍රශ්නයක්.

චතුරංග බණ්ඩාර

www.glee.lk

Related posts

Comments are closed.

Top