පාවහන් වලට 2020 දී හොද අපනයන වෙළෙද පොළක් “රිෂාඩ් බදියුදීන්”

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රදර්ශනය නැරඹු අවස්ථාව

2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙද පොළ ඩොලර් බිලියන 600 ක් හෙවත්, රුපියල් බිලියන 90,000 ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙද පොළ පුළුල්වීම නිසා ශ්‍රී ලංකාවේ සපත්තු හා සම්භාණ්ඩ වලට 2020 දී ඉතා හොද අපනයන වෙළෙද පොළක් ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි.

 

ඒ හේතුවෙන් මෙරට ව්‍යවසායකයන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ.

 

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ  පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන ප්‍රදර්ශනය“ නිමිත්තෙන් ශුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ඩී.එස්.එන්.රාජපක්‍ෂ සදහන් කරයි.

 

මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව, පකිස්ථානය, චීනය හා ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කීපයක් එක්ව ඇති අතර, මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සංවිධානය කර තිබේ.

 

ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහයෝගය ලබාදි ඇත.

 

මෙම ප්‍රදර්ශනය 2007 වසරේදී  මුලින්ම ආරම්භ වී ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 10 වැනි ප්‍රදර්ශනයයි.

 

පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රැපියල් මිලියන 18,480 ක හෙවත් කෝටි 1848 ක ආදායමක් උපයා ඇත.

 

‘‘අපේ පාවහන් හා සම්භාණ්ඩ අපනයනය ප්‍රමුඛ වීමට හේතුවන්නේ, මෙම කර්මාන්තයට විශාල පරිමාණ ව්‍යවසායකයින් පමණක් නොව, කුඩා හා මධ්‍යම පරිමාණ (SME) ව්‍යවසායකයින්ද එකතු විමයි. මෙම කර්මාන්තය නිසා සෘජුව හා වක්‍රව ලක්ෂ 3 කට අධික ශ්‍රම බලකායක් සේවයේ යෙදෙනවා. ඒ වගේම මෙම ප්‍රදර්ශනය මගින් කුඩා හා මධ්‍යම පරිමාණ වයවසායකයින්ටද ජාත්‍යන්තර වෙළෙද පොළට ඇතුළුවීමට අවස්ථාවක්  සැළසෙනවා‘‘.

 

‘‘වර්ෂ 2020 වන විට ලෝකයේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන වෙළෙද පොළ ඩොලර් බිලියන 600 හෙවත් රුපියල් බිලියන 90,000 ඉක්මවා පුළුල් වෙනවා. එහිදී පාවහන් වෙළෙද පොළ ඩොලර් බිලියන 370 ක් ඉක්මවා යාමටත්, අනෙකුත් සම්භාණ්ඩ වෙළෙද පොළ ඩොලර් බිලියන 270 ඉක්මවා යාමටත් පුළුවන් බවට තක්සේරැ කරලා තියෙනවා. මේ ආකාරයට මධ්‍යම පාන්තික පාරිභෝජනය හා සුඛෝපභෝගී පරිභෝජනය ලෝකය පුරාම වැඩිවන පසුබිමක අපේ පාවහන් හා සම්භාණ්ඩ සදහා ජාත්‍යන්තර වෙළෙද පොලේ අඩු වියදම් අපනයනයට සුවිශේෂි අවස්ථාවක් උදාවෙනු ඇතැයි විශ්වාස කරනවා‘‘.

 

‘‘එසේම මෙම මධ්‍යම පාන්තික පරිභෝජනය ඉහළ යාම සමග මෝස්තර සහිත සපත්තු සදහා ඇතිවන ඉල්ලුම වේගයෙන් ඉහළ යනවා. අපි මේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තාක්ෂණික දැනුම සහිත පුහුණුක් ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ මගින් අපගේ දේශිය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අපනයනයන් ජාත්‍යන්තර ඇගළුම් කර්මාන්තයේ මට්ටමට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා “  යැයි  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එම නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කර තිබේ.

Related posts

Comments are closed.

Top