“ජනපතිගේ වන්දි එපා, ජාත්‍යන්තර විභාගයක් ඕනෑ”

 

යුද සමයේ අතුරුදහන් වු කිසිවකු ආණ්ඩුව විසින් සඟවාගෙන නොමැති  බවට  ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරන උතුරේ යුද පීඩිතයෝ  තම ඥාතීන් ගේ ඉරණම හෙලි කරගැනීම පිනිස ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව දැඩිසේ අවධාරණය  කරති.

ජනාධිපතිවරයා දීමට සැරසෙන කිසිදු වන්දියක් බලාපොරොත්තු  නොවන අතර යුරෝපා සංගමය ඇතුලු ජාත්‍යන්තර නිරීක්ෂකයන් සහිතව අතුරුදහන් වුවන් සම්බන්ධයෙන්  සොයා බැලීම සදහා  පරීක්ෂණයක් අවශ්‍ය බවයි අතුරුදහන්ව සිටින තම පවුලේ සමීපතමයන් සොයා දෙන ලෙස රජයට බලකරමින් වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට දින 348 ක් විරෝධතාවයේ යෙදී සිටින දෙමළ ජනතාව පවසන්නේ.

වව්නියාවේ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ ලබා දෙමින් ඔවුන් පවසා ඇත්තේ යුද සමයේ අතුරුදහන් වුවන් තාමත් ජීවතුන් අතර සිටින බවට තමන් විශ්වාස කරන බවයි.

නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැරුන කොට අගමැති රනිල් වික්‍රමසිංහ  සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසා තිබුනේ දෙමළ අතුරුදහන් වුවන් මරා දමා ඇතැයි විශ්වාස කෙරෙන බවයි.

තමන් විසින්ම තම ඥානීන් යුද හමුදාවට බාර දුන් බැවින් ඔවුන් භාර ගත් හමුදා නිලධාරීන් කැදවා පරීක්ෂණ ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥානීන් චෝදනා කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් දෙමළ දේශපාලකයන්ගෙන් නිසි සහායක් නොලැබෙන බවයි.

කෝටි දෙකේ විවාදය

පසුගිය අයවැයට පෙර ආණ්ඩුවෙන් රුපියල් කෝටි දෙක බැගින් මන්ත්‍රීවරුන්  ලබා ගත් බවට දෙමළ ජාතික සන්ධානයට එල්ල වන චෝදනා වලින් නිදහස් වීම සදහා වේදිකා තුළ එය සාධාරනීකරණය කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරන නමුත් තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් වන ප්‍රමාණවත් මැදිහත්වීමක් නොමැති බවට ඔවුහු චෝදනා කරති.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ  සුමන්දිරන්  ඔවුන් විසින් හදුන්වන ලද්දේ අනික් දේශපාලනඥයන්ගේ  වැරදි නිවැරදි කිරීමට සිටින අයකු මිස දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී නොසිටින දෙමළ දේශපාලනඥයකු ලෙසිනි.

Related posts

Comments are closed.

Top