ලන්ඩන් බ්‍රිගේඩියර්: විදේශ අමාත්‍යාංශ තීරණය ජනපති නියෝගයෙන් ආපස්සට | VIDEO

ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක් වු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියා යළි සේවයේ පිහිටුවා තිබේ.

විදේශ අමාත්‍යාංශය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ තිලක් මාරපන අමාත්‍යවරයා යටතේය.

බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවන ලෙස විදේශ කටයතු අමාත්‍යාංශය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇත්තේ ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විසින් දෙන ලද නියෝගයක් පරිදිය.

ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයක් පැවතියදී විරෝධය පෑ දෙමළ ජනතාවට එරෙහිව බ්‍රිගේඩියර්වරයා පෑ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන කෙරේ අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුනි.

අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් පවත්වනු ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගගන හා කියා සිටියේය.

යුද හමුදාපතිවරයා පවසන්නේ අදාළ සිද්ධිය පිළිබඳව කෙරෙන ඕනෑම පරීක්ෂණයකට යුද හමුදාවේ සහයෝගය ලබා දීමට සුදානම් නමුත් පරීක්ෂණයකින් තොරව ඔහුගේ සේවය අත්හිටුවීම පිලිගත නොහැකි බවයි.

“සමාජ මාධ්‍ය ජාල වල වීඩියෝ තිබුනු පලියට හමුදා නිලධාරීන් තනතුරු වලින් ඉවත් නොකරන,” බව ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

බ්‍රිගේඩියර්වරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

යුද පන්නරය

යුද සමයේ මුලතිව් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ලකරන ලදැයි චෝදනා එල්ලවන හමුදා මෙහෙයුමක ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ”යුද පන්නරය” ලද සොල්දාදුවකු ලෙස හැඳින්වෙයි.

ඔහුගේ යුද සමයේ භූමිකාව විස්තර කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් එළිදක්වා ඇති වාර්තාවක දැක්වෙන පරිදි දෙමළ ජන සංහාරයක් සිදුවූ මුලතිව් ප්‍රහාරයේ යෙදුනු 59 බල සේනාව යටතේ පැවති ගැමුණු හේවා බල ඇණියේ හෙතෙම ලුතිනන් කර්නල්වරයකු ලෙසින් වගකීම් ඉසිලූවෙකි.

අධිකරණයක දී ඔප්පු වුවහොත් යුද අපරාධයක් ලෙස සැළකීමට ඉඩ ඇති හමුදා ප්‍රහාරයක් වන රෝහලට එල්ල කැරුනු මේ ප්‍රහාර වලට ඔහුගේ සම්බන්ධයක් වී නම් එහි ඔහු ගේ භූමිකාව කුමක් වීද යන්න පිළිබඳ පැහැදිළි කිරීමක් බ්‍රිගේඩියර්වරයාගෙන් ලබාගැනීමට ක්‍රියා කරන්නැ’යි, හමුදා නිලධාරීන් නිල තනතුරු සඳහා භාරගැනීමේ දී සුපරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු භාරව සිටින අධිකාරීන්ගෙන් ITJP සහ JDS සංවිධාන ඉල්ලා තිබේ.

මේ සිද්ධියෙන් ”බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ යැයි සැක කළහැකි පුද්ගලයන් එක්සත් රාජධානියට ඇතුළුවීමෙන් හා එහි නිල මට්ටමේ රාජකාරිවල නිරතවීමෙන් වැළැක්වීම සහතික කිරීම සඳහා ගතයුතුව තිබූ අනිවාර්ය ක්‍රියාමාර්ගයන් ගැනීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව අසමත් වී ඇති බව මනාව පැහැදිළි වන්නේය” යි එම සංවිධාන දෙක දොස් පවරා තිබේ.

සිංහල ඡන්ද සහ ඔලු කටු

මැතිවරණ මුවවිටේ ජනපති තීරණය සිංහල ජාතිකවාදී බලවේග වලට අවනත වී තමන් බලයට පත් කළ ජනතාව පාවා දීමක් බවට ලාංකික සමාජ ක්‍රියාධාරීන් ගේ හෙලා දැකීමට ලක්වී තිබේ.

“ලංකාවේ සුලුතර ඡන්ද වලින් 2015 දී බලයට පත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා… තමන්ට කොහොමටත් ඡන්දය නොදෙන බොහෝ දෙනකු ගෙන් යුත් ජාතිවාදී සිංහල ජාතිකවාදී කණ්ඩායම් සමග මුලුමනින්ම පෙළ ගැසී තිබේ,” යි ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන ට්විටර් මාධ්‍ය ජාලයේ තම කෝපය පලකර තිබුනි.

“අපේ අප්‍රසාදය පළාත් පාලන ඡන්දයේදී පළකරමු!”

උද්ඝෝෂකයන්ගේ ගෙල සිඳින බවට අභිනයෙන් දැක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිංහල ජාතිකවාදී කණ්ඩායම් සහ ජනමාධ්‍ය වල මහත් ප්‍රශංසාවට ලක්වුනි.

“අද උඹ තවත් පෙරලියක් කරනවා.. මම ඇත්තටම අගය කරනව උඹට තිබුන ඉවසීම සහ සන්යමය ගැන.” යි දිවයින මාධ්‍යවේදී මිත්‍ර ශ්‍රී කරුණානායකගේ මුහුණු පොතේ ලියා තිබුනි.
“මම එතන හිටියනම් ඒ කෑගහපු නරි රන්චුවට ඉනේ තියෙන පිස්තෝලෙ අරන් තියාගෙන තියාගෙන යනව ඔලු කටු කුඩු වෙන්න.”
ඔහු ගේ හැසිරීම ආක්‍රමණකාරී බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය 6 බදාදා නිකුත් කළ නිවේදනයක සදහන්ව තිබුණි.

“අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක”ලෙස හැසිරුනු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායමක් එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනි.

 

Comments are closed.

Top