ඩෙංගු මදුරු ප්‍රහාරයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වෛරසය පැතිරීම වැලැක්වීම අරමුණූ කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇති බැක්ටීරියාවක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ලේකම් ජනක සුගතදාසගේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බ්‍රයිස් හචසන් විසින් 7 බදාදා  සෞඛ්‍ය, පෝෂණ හා  දේශීය අමාත්‍යංශයේදී එම ගිවිසුමට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන ගැටළුවක් බවට පත්ව තිබේ.

පසුගිය දශක දෙකක කාලය තුළ වසංගත ආකාරයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ප්‍රවණතාවයකින් සිදු විය.

ඩෙංගු රෝගය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධව විවිධ අමාත්‍යංශ සහ ආයතන මගින් විවිධ වැඩසටහන් දියත් කළ නමුත් 2017 වර්ෂයේදී රෝගීන් 187,000 ක් වාර්තා වූ අතර, මිනිස් ජීවිත400 කට අධික ප්‍රමාණයක් අහිමි වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ  Aedesaegypti මදුරු විශේෂයයි.

කෙසේ නමුත් සම්ප්‍රදායික පාලන ක්‍රමයන් අඛණ්ඩව සහ තිරසාර ලෙස නොපැවතීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇත.

මෙම තත්ත්වයන් යටතේ වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී වාහක පාලනය සිදුකල හැකි ජෛව පාලන සඳහා අවතීර්ණ  ක්‍රමෝපායන්සඳහා අවතීර්ණ වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

“ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළෑක්වීම සඳහා  වොල්බැචියා  බැක්ටීරියාව යොදා ගැනීම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇති එවැනි එක් නව ක්‍රමවේදයකි. මෙම බැක්ටීරියාව, සමහර මදුරු විශේෂද ඇතුළුව ලෝකයේ කෘමි විශේෂ 60% කට වැඩි ප්‍රමාණයක ශරීරය තුළ හා ස්වාභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි”

“වොල්බැකියා බැක්ටීරියාව ශරීරය තුල අඩංගු වූ විට ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවේ. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන Aedesaegypti මදුරුවන්ගේ ශරීරය තුල ස්වාභාවිකව හමු නොවේ. එබැවින්   වොල්බැචියා  බැක්ටීරියාව කෘතිමව හඳුන්වා දීමෙන්, Aedesaegypti මදුරුවන් මගින් ඩෙංගු වෛරසය පැතිරීම වළක්වයි”

ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා වොල්බැකියා බැක්ටීරියාව ආසාදිත Aedesaegypti මදුරුවන් නිදහස් කිරීම ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව,බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව රජය සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ වල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජගත් මදුරු වැඩසටහන  (WMP) කැමැත්ත පල කොට ඇත.

වොල්බැකියා බැක්ටීරියාව ආසාදිත මදුරුවන් නිදහස් කිරීමේ නියාමන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමෝපායක් බව රජයේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගතයට  එරෙහිව සටන් වැදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාදෙන බව පසුගිය ජූලියේ දිවයිනට පැමිණ සිටින ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනී ජූලි බිෂොප් කොළඹදී ප්‍රකාශ කර තිබුනාය.

ඩෙංගු උවදුර පාලනය කිරීම සදහා දිවයිනේ ජලාශවල වර්ධනය වී ඇති බැක්ටීරියාවක් යොදා ගන්නා සාර්ථක ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා හන්තාන ජාතික මූලික අධ්‍යයන අංශය මගින් ඒ   දිනවලම හඳුන්වා දී තිබුනි.

මදුරුවන්ට විෂ සහිත බී.ටී.අයි. බැක්ටීරියාව  විද්‍යාගාර යටතේ වර්ධනය කර ක්ෂේත්‍රයට මුදා හැරීම මගින් මදුරු කීටයන් විනාශවන බව නව පර්යේෂණය මෙහෙයවූ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න පවසා තිබුනි.

 

Related posts

Comments are closed.

Top