“සමූහ ඝාතනයක තොරතුරු ගවේෂණය නිසා” රොයිටර් මාධ්‍යවේදීන් මියන්මාර හිරේ

 

මියන්මාර ඉන් දින් ගම්මානයේදී ආරක්ෂක අංශ නිලධාරීන් සහ බෞද්ධ ගම්වාසීන් විසින් රෝහින්ග්‍යාවරු පිරිසක් සමූල ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධ විමර්ශනයක තොරතුරු රොයිටර් පුවත් සේවය හෙළි කරගෙන තිබේ.

සිය ආයතනය වෙනුවෙන් සේවය කළ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම යටින් දිවෙන කතාව ද මෙය බව ඔවුහු  අවධාරණය කරති.

බුරුම රජයේ රැඳවුම් භාරයේ පසුවන වා ලෝන් සහ ක්යෝ සෝඕ ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමයි.

පසුගිය වසරේ දී රෝහින්ග්‍යාවරු 10 දෙනකු අමානුෂික අන්දමින් ඝාතනය කළ බව සඳහන් සාක්ෂි තමන් අනාවරණය කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරයි.

මෙම වාර්තාකරුවන් දෙදෙනා හුදෙක් මහජන යහපත තකා කටයුතු කළේ යැයි එමඟින් ඔප්පු වන බවට ඔවුන්ගේ විශ්වාසයයි.

මහජන අයිතිය වෙනුවෙන්

“වා ලෝන් සහ ක්යෝ සෝඕ අත්අඩංගුවට ගත් විගසම වගේ අපේ මුලික අවධානය යොමු වුණේ ඔවුන්ගේ ආරක්ෂාව වෙතටයි. ඔවුන්ගේ නීතිමය තත්වය පිළිබඳව අපි වටහා ගත් පසු, වා ලෝන් සහ ක්යෝ සෝඕ මෙන්ම ඔවුන්ගේ ඥාතීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉන් දින් ගම්මානයේ සිදුවුයේ කුමක්ද යන්න ප්‍රකාශයට පත් කිරීම අපේ වගකීමක් යැයි අවසානයේ තීරණයකට එළඹුනා,” යනුවෙන් රොයිටර් ප්‍රධාන සංස්කාරක ස්ටෙෆාන් ජේ. ඇඩ්ලර් පැවසුවේය.

“අපි මේ මතබේදාත්මක විමර්ශනය ප්‍රකාශයට පත් කරන්නේ එය ගෝලීය වශයෙන් මහජනයාගේ අයිතියක් වන නිසා.”

 

මිනීවල යට සැඟවුණු සත්‍යය

පසුගිය වසරේ අගෝස්තු 25 මියන්මාර පොලිස් මුරපොල කිහිපයකට කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එරට හමුදා විසින් දියත් කරනු ලැබූ දැවැන්ත මෙහෙයුම් නිසා හය ලක්ෂ විසි තුන් දහසකට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගොස් ඇතැයි එක්සත් ජාතින් පවසයි.

රඛයින් ප්‍රාන්තයේ විසු රෝහින්ග්‍යා කැරලිකරුවන් වෙත පමණක් තමන් ප්‍රහාර එල්ල කළ බව බුරුම ආරක්ෂක අංශ පැවසුවත් මානව හිමිකම් සංවිධාන අවධාරණය කර සිටියේ දහස් ගණනක් සාමාන්‍ය වැසියන් එහිදී ඝාතනයට ලක්ව ඇති බවයි.

සමුහ ඝාතන සිදුවීමක් පිළිබඳව ගම්වැසියන්, ආරක්ෂක නිලධාරීන් සහ ඡායාරූප ශිල්පීන්ගෙන් තොරතුරු එක්රැස් කරමින් රඛයින් ප්‍රාන්තය තුල වාර්තාකරණයේ යෙදී සිටියදී රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා රැඳවුම් භාරයට පත් වී තිබුනේ දෙසැම්බර් 12 වැනිදාය.

මෙම අත්අඩංගුවට ගැනීම මාධ්‍ය නිදහසට එල්ල කළ පහරක් ලෙස ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට පවා ලක් වුනි.

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් සතියක් ඉක්ම ගිය තැන ඉන් දින් ගම්මානය අසල පිහිටි සමුහ මිනිවලකින් පුද්ගලයන් 10 දෙනකුගේ ඇටසැකිලි සොයා ගත්තේ යැයි ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරුප නිකුත් කරමින් එරට බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

 

මිනීවල යට සැඟවුණු සත්‍යය

එම “මිනීවල යට සැඟවුණු සත්‍යය” හෙළිදරව් කිරීමට තමන් ක්‍රියාකරන බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් ඊට සම්බන්ධයක් දක්වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොපසුබට වන බව පවසමින් ඔවුන් උදම් අනා තිබුණි.

නමුත් රොයිටර් පුවත් සේවය පවසන්නේ, ගම්මානයකට එල්ල වූ ආක්‍රමණයකින් හුදකලා වූ පසු වෙරළබඩ ප්‍රදේශයක ආරක්ෂාව පතමින් සිටි 10 දෙනකුගෙන් යුත් රෝහින්ග්‍යා කණ්ඩායමක් අල්ලා ගත් බෞද්ධ ගම්වාසීන් ඔවුන් වැළලීම සඳහා විශාල මිනී වළක් හාරා ඇති අතර ඉන්පසුව එම පුද්ගලයන් ඝාතනය කර ඇති බවයි.

ගම්වැසියන් විසින් පුද්ගලයන් දෙදෙනකුට මියයන තෙක් පහර දී තිබේ. ඉතිරි පිරිස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හමුදාව විසින් බව මාධ්‍ය ආයතනය හෙළි කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මියන්මාර රජයේ ප්‍රකාශක සෝ ටේ සඳහන් කර ඇත්තේ “මානව අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප නොකරන බවයි”.

“ප්‍රබල සහ විශ්වසනීය සාක්ෂි” ඇතිනම්, ඒවා සත්‍ය වේ නම් රජය ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන බවත් පවතින නීතිවලට අනුව අදාල ක්‍රියාමාර්ග ගන්න බවත් ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් රඛයින් හි සිදු වූ හමුදා මෙහෙයුම් ඔහු විසින් සාධාරණීකරණය කර ඇත.

“පළමු ප්‍රහාරය එල්ල කළේ කවුද යන වග ජාත්‍යන්තරය වටහා ගත යුතුයි. යුරෝපා රටවල, එක්සත් ජනපදයේ, ලන්ඩන් වල, නිව්යෝක් වල, වොෂින්ටන් වල එවැනි ප්‍රහාරයක් දියත් කළොත් මාධ්‍ය කුමක් පවසාවි ද?”

Related posts

Comments are closed.

Top