රාජපක්ෂ ජයක් සහ ආණ්ඩුව කැබලිවීමක් ගැන පුංචි ඡන්දයට කළින්ම දෙමළ පුවත්පත් අනාවැකි

“එලුවා කැමැත්තෙන්ම මස් කඩේට එන්නේ…?” කාටුනය: වීරකේසරී

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයන් සම්බන්ධ දමිළ පුවත්පත් මත දැක්වීම්, එකිනෙකට වෙනස් වන – එහෙත් නැවතත් සම්බන්ධිත වන- විශ්ලේෂණ ධාරා දෙකකින් සමන්විත විණි.

මෙම පළමු විශ්ලේෂණයේදී දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් පළාත් පාලන මැතිවරණ ඇගයුම් කොට තිබුණේ, එජාප-ශ්‍රීලනිප සමගි රජය සම්බන්ධයෙන් සහ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය විෂය කර ගනිමිනි. මෙහිදී විය හැකි විවිධ ප්‍රතිඵල වින්‍යාසයන් සම්බන්ධයෙන් අනුමාන දක්නට ලැබුණු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් සහ මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් බිහිවන රජයක් සම්බන්ධ කල්පිත ද ඒ අතර විණි. මෙහිදී පැන නැඟී තිබුණු ආධිපත්‍ය දැරූ දෘෂ්ටීන් වූයේ, සමගි රජය කැබලි වලට කැඩී යෑම සහ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නතර වීමත් ය.

ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන සියල්ලම දමිළ පුවත්පත් තුළ විශේෂයෙන් ඉඩ ලබාගෙන තිබුණද, ජනතා විමුක්ති පෙරමුණට හිමිවී තිබුණේ අඩු ආවරණයකි. මෙම, සුළුතර ප්‍රජාව වෙසෙන ප්‍රදේශයන්හි රාජපක්ෂට ලැබෙන ඡන්දයන්ගේ ප්‍රධාන මූලාශ්‍රයන් සියල්ල එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා උරෙනුර ගැටෙමින් තරග කරයි. රාජපක්ෂ යටතේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි, උතුරු නැගෙනහිර ඔහුගේ ප්‍රධාන ඡන්ද මූලාශ්‍රයක් වූ රිෂාද් බද්යුද්දීන් වැනි චරිත සියල්ලම එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් නැතිනම් එක්සත් ජාතික පක්ෂය සමගින් සිටී. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ජාතික ස්ථාවරය නිර්වචනය කරනවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තීරණාත්මක වන බවද සනාථ වේ.

අලුත් ව්‍යවස්ථාවට ඇති බලපෑම  

දමිළ පුවත්පත් මත දැක්වීම් තුළ දක්නට ලැබුණු දෙවැනි විශ්ලේෂණාත්මක ධාරාව කේන්ද්‍රගතව තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමි‍ටුවේ අතුරු වාර්තාව විෂයෙහි දමිළ ප්‍රජාවගේ ස්ථාවරය කුමක් වේද යන පැනය මතයි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික කොංග්‍රසය සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා වී.ආනන්දසංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ජාතික විමුක්ති පෙරමුණ යන දමිළ ජාතිකවාදී දේශපාලන ධාරාව තුළ දෙමළ ජාතික සන්ධානයට ඇති විපක්ෂය විසින් අතුරු වාර්තාවේ අන්තර්ගතයන් මත පදනම් වෙමින් මෙම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය රාමුගත කරන්නට යෙදුණේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැත්වෙන පූර්ව-ජනමත විචාරණයක් ලෙසිනි.

මෙම විපක්ෂය තර්ක කොට සිටියේ සැබවින්ම දෙමළ ජාතික සන්ධානයට ලැබෙනා සෑම ඡන්දයක්ම, (අ) ෆෙඩරල් රාජ්‍යයක්; (ආ) බෞද්ධාගමට ප්‍රමුඛතාවය නොදීමක්; හා (ඇ) උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් යන ප්‍රධාන දමිළ දේශපාලනික ඉල්ලීම් පිළිනොගන්නා වූ නව ව්‍යවස්ථාවකට සහාය පළකරමින් ලබාදෙන ඡන්දයක් වනු ඇති බවටයි. දෙමළ ජාතික සන්ධානය විශේෂයෙන්ම මෙම අරුත් ගැන්වීමට එදිරිව තර්ක කර සිටියේ, මෙම පළාත් පාලන මැතිවරණය යනු, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයට සිය සහාය ලබාදෙන බවට හඟවා සිටීමට දමිළ ප්‍රජාවට ලැබෙනා නැවුම් අවස්ථාවක් ලෙසින් රාමුගත කරමිනි. මෙහිදී එම සංශෝධනයන්ගේ ප්‍රතිඵලයන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ පසු අවදියකදී දමිළ ප්‍රජාවට පිළිගැනීමට හෝ පිළිකෙව් කිරීමට හැකියාව ඇති බවද එහිදී හැඟවිණි.

කෝටි දෙකේ අල්ලස

මෙයට අමතරව ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (EPRLF) ශිවශක්ති ආනන්දන් විසින් චෝදනා කොට සිටියේ රනිල් වික්‍රමසිංහ විසින් 2018 අය වැයට ලබාදෙන සහාය සුරක්ෂිත කරගනු වස්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන අල්ලසක් ලෙසින් රුපියල් මිලියන 20 ක මුදලක් නීතිවිරෝධී අන්දමින් ලබාදී ඇති බවටයි. දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් මෙම චෝදනාවට නිරන්තරයෙන් ප්‍රමුඛ ආවරණයක් ලබාදී තිබිණි. පසුවූ සති දෙක තුළදී වාලම්පුරි කතුවැකිය මගින් මෙම පුවතට බොහෝ අවස්ථාවන්හිදී ප්‍රසිද්ධිය ලබාදී තිබිණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, මෙම දක්වා ඇති මුදල් ප්‍රමාණය සැබවින්ම සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙනා ලේඛනගත ව ඇති අරමුදල් වන බවට මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විසින් කළ ප්‍රකාශය වාර්තා වී තිබුණේ අවම වශයෙනි. මෙම ගැටළුව කූටප්‍රාප්තියකට එලැඹුණේ, ඉලංකෛ තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා විසින් සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා සිටිමින් ආනන්දන් වෙත මෑතකදී නොතීසි යැවීම සමගිනි. සැබවින්ම දමිළ මැතිවරණයකදී දූෂණ චෝදනාවන් පැන නැඟීම සුවිශේෂී අවස්ථාවක් වන්නේ, ඓතිහාසිකව මෙම පසුබිමේ වඩාත් සුලභව දක්නට ලැබුණේ දේශපාලන ද්‍රෝහීවීම් සම්බන්ධ චෝදනාවන් වූ බැවිනි.

නැගෙනහිර මුස්ලිම් බහුතරය වාසය කරනා ප්‍රදේශයන්හි පළාත් පාලන මැතිවරණ පිළිබඳ දමිළ පුවත්පත් වාර්තාකරණ, මැතිවරණය සම්බන්ධ ජාතික කතිකාවට අමිහිරි ස්වරයක් එක් කොට තිබිණි. මෙම පළාත් තුළ වඩාත් පළාත්බද ගැටළු ඡන්දදායකයින්ගේ කැමැත්ත නිර්වචනය කරනා තීරණාත්මක සාධකයන් වී තිබෙනු දක්නට ලැබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, කල්මුණේ මහනගර සභා බලප්‍රදේශය තුළ වූ සායින්දමරුදු හිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මුහුණ පාන්නට සිදුවී ඇත්තේ, මෙම ප්‍රදේශය සඳහා වෙනම පළාත් සභාවක් ලැබෙනා බවට පොරොන්දු වෙමින් තරග කරනා ස්වාධීන කණ්ඩායමකින් එල්ල වන අනම්‍ය ප්‍රතිවිරුද්ධතාවයකටයි.

එසේම සිංහල පුවත්පත් තුළ මෙන්ම දමිළ පුවත්පත් තුළද පළාත් පාලන මැතිවරණයන්ට තරග කරනා අපේක්ෂිකාවන් සම්බන්ධයෙන් ලැබී තිබුණේ සැලකිය යුතු තරමේ අවම ආවරණයකි. එසේම අපේක්ෂිකාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන අවස්ථාවන් සම්බන්ධයෙන් සැළකිලිමත් වෙමින් ස්වාධීන කණ්ඩායම් දිගින් දිගටම අනතුරු අඟවා තිබුණත්, පුවත්පත් ඒ සම්බන්ධයෙන් ලබාදී තිබුණු ප්‍රචාරය පුවත් වාර්තාවන් කිහිපයකට සීමා වී තිබිණි.

 

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top