ශ්‍රී ලංකාව ගැන ජිනීවා යෝජනාවට වාර්තාව සකස් කළ කමිටු සාමාජිකා මියයයි

ශ්‍රී ලංකාව විසින් දියත් කරන ලද යුද්ධයේ අවසාන අදියරේදී  යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ  සිදුවූ බව හෙළිදරව් කළ වාර්තාව සකස් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකා මානව හිමිකම් ක්‍රියාකාරිනි අස්මා ජහන්ගිර් ජිවිතක්ෂයට පත්ව තිබේ.

නීතිවේදිනියක මෙන්ම පකිස්තානු මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය වූ ඇය මියයන විට 66 හැවිරිදි වියේ පසුවූවාය.

ඇය මියගොස් තිබුනේ හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුවය.

විමුක්ති කොටි සංවිධානයට එරෙහිව එවක ශ්‍රී ලංකා රජය විසින් දියත් කළ යුද්ධයේ අවසාන සමයේ සිදුවූ අන්තර්ජාතික මානව හිමිකම් නීති කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සාමාජිකයන් 12 දෙනකුගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරන ලද්දේ 2014 ජුනි මසදී ය.

එම කමිටුව මෙහෙයවීමට අස්මා ජහන්ගිර් ඇතුළු හිටපු පින්ලන්ත ජනාධිපති මාර්ති අහ්තිසාරි, නවසීලන්තයේ හිටපු උපරිමාධිකරණ විනිශ්චයකාරිනී සිල්වියා කාට්රයිට් පත් කර තිබුණි.

ලංකාවේ වගවීම සහ සංහිඳියාව සඳහා වන ජිනීවා යෝජනා සකස් කෙරුනේ විමර්ශනයේ හෙළිදරව් කිරීම් ඇතුලත් වාර්තාව 2015 සැප්තැම්බර් මස ජිනීවා නුවරදී පැවැත්වුණු තිස් වැනි ජගත් මානව හිමිකම් සැසි වාරයේදී ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුවය.

ජාත්‍යන්තර කම්පාව

අස්මා ජහන්ගීර් ගේ මරණය සැලවීමත් සමග දෙස් විදෙස් ශෝක පණිවිඩ ගලා එමින් පවතී.

ඇගේ වියෝව සමස්ත ප්‍රජාවටම විශාල පාඩුවක් බව පකිස්තානු අග්‍රාමාත්‍ය ෂහිඩ් අබ්බාසී ප්‍රකාශ කර තිබේ.

ඇය “ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව අයිතිවාසිකම් හි ගැලවුම්කරුවා” යැයි නොබෙල් සාම ත්‍යාගලාභිනි මලාලා යුසුෆ්සායි පවසන්නීය.

ඇගේ ප්‍රතිපත්ති කිසිවිටකත් වැනෙන සුළු ඒවා නොවූ බවත් ඇය නැති වීමේ පාඩුව කියා නිම කළ නොහැකි බවත් ඇම්නස්ටි සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ඕමාර් වරයිච් පැවසුවේය.

අස්මා ජහන්ගිර් සිය වෘත්තීය ජීවිතය පුරාවටම මානව මෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ අයෙකි.

සියා උල්-හක් හමුදා පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් සහාය පල කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ වීම නිසා 1983 දී ඇය සිර භාරයට ගන්නා ලදී.

මින් වසර පහකට ඉහතදී අස්මා ඝාතන තැතක් හෙළිදරව් වීමෙන් අනතුරුව සිය “හඬ නිහඬ කිරීමට උත්සහ කරන බලවේග” හෙළදරව් කරන මෙන් ඇය රජයෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

Related posts

Comments are closed.

Top