පුංචි ඡන්දයේ පිම්ම සමගින් මහින්දගෙන් ව්‍යවස්ථා සංශෝධනයට අභියෝගයක්

දස අවුරුද්දක රාජ්‍ය පාලනයක් පෙරලා දමා හවුල් ආණ්ඩුවක් බලයට පත් කරන්නට කටයුතු කළ ශ්‍රී ලාංකික ඡන්දදායකයා එයින් අවුරුදු තුනක් ගතවත්ම නැවතත් මහින්ද රාජපක්ෂට විශිෂ්ට ජයක් අත් කරදීමත් සමගම පාර්ලිමේන්තුවට පවරන ලද බලතල ආපසු හැරවීමේ අවදානමක් මතුවී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේ 11 ඉරිදා රාත්‍රි යාමය වනවිට ප්‍රකාශිත ප්‍රතිපල අනුව රටපුරා 45% කට ආසන්න  ඡන්දයක්  හිමිකරගනිමින් හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය දිවයිනේ මුල් තැනට පැමිණ සිටින අතර ආණ්ඩුවේ හවුල්කාර එක්සත් ජාතික පක්ෂය දෙවැනි තැනට වැටුණු අතර  වර්තමාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් බොහෝ දුර තුන්වැනි තැනකට බරපතල ලෙස පසුබැස සිටී.

අවසන් මැතිවරණ ප්‍රතිපල නිල වශයෙන්  ප්‍රකාශයට පත්වීමට පෙරම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ “ඉක්මනින් වෙනසක් ඇති කරන” බවයි.

මාධ්‍යවේදීන්ට ඒ තොරතුරු හෙළි කළ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු ඇමැතිවරුන් හත් දෙනකු හවුල් ආණ්ඩුවේ කැබිනට් ධුර වලින් ඉවත් වන බවට පුවත් පලවී තිබේ.

ශ්‍රීලනිප දෙපිල එක්වී එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් පවත්වාගෙන යාම ඔවුන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශිතය.

මහ මැතිවරණයක් ඕනෑ

කෙසේවෙතත්, විධායක ජනාධිපති බලතල සීමා කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමේ අභියෝගයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අගමැති ධුරය වුව ප්‍රතික්ෂේප කරන බව පවසන  ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයාට බලකරන බවයි.

වර්තමාන රජය බලයට පත්වී සිදුකරන ලද ව්‍යවස්ථා සංශෝධන අනුව, ආණ්ඩුව පිහිටුවා අවුරුදු හතරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක.

වර්තමාන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 109ක් ඇති අතර ශ්‍රීලනිප දෙපිල අතර බෙදී ඇති ආසන සංඛ්‍යාව 95 කි. විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සතු ආසන සංඛ්‍යාව 16කි. බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 113ක් තිබිය යුතුය.

ව්‍යවස්ථාව වෙනස් කොට ආණ්ඩුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත්, ව්‍යවස්ථා වෙනසක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යවේ.

ප්‍රාදේශීය සන්ධාන ගතවීම ඇරඹේ

මේ අතර පළාත් පාලන ආයතන වල නියත ජයක් ලැබී නැති ශ්‍රීලපොප ට පාලන බලය ගැනීම සඳහා මෙතෙක් ආණ්ඩුවට හව්ල් වී සිටි දේශපාලන පක්ෂ මේ වනවිටත් නව දේශපාලන සන්ධාන සෑදීමේ ගනුදෙනු ආරම්භ කර ඇත.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තරග වැදුනු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොන්ග්‍රසය පළාත් පාලන ආයතන 11ක බලය ගැනීම සඳහා ශ්‍රීලපොප ට සහාය පළකර තිබේ.

උතුරේ බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය සතුව තිබුනු දෙමළ ජාතික සන්ධානයේ පාලනයෙන් ගිලිහුනු චාවාකච්චේරි සහ පේදුරු තුඩුව නගර සභා දෙකේ බලය සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් තරග වැදුනු දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් දිනාගෙන ඇත.

Related posts

Comments are closed.

Top