බහුතර පළාත් පාලන ආයතන ගණනක පොහොට්ටුව බලය ගනී

පෙබරවාරි 10 වැනිදා පැවැත්වු  පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප්‍රතිඵල වලට අනුව බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිකරගැනීමට පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් ව තිබෙන බව මැතිවරණ කොමිසමේ නිල ප්‍රකාශයකින් තොරවම පැහැදිලි වී තිබේ.

ගගන විසින් ගණන් බලා ඇති පරිදි ඡන්ද 4968762 ක් ලබා ගෙන ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 44.69% ක ඡන්ද  ප්‍රතිශතයක් අත්පත් කරගෙන දිවයින පුරා මන්ත්‍රීධුර  3389 ක් හිමිකරගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ  ඡන්ද 3625510 ලබා සියයට 32.61%  ප්‍රතිශතයක්  හිමිකරගෙන මන්ත්‍රීධුර 2393ක් ලබා ගනිමිනි.

එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 989821 ක් ලබා සියයට 8.90% ප්‍රතිශතයක් හිමිකරගනිමින් මෙම මැතිවරණයෙන් තෙවැනි තැනට පත්ව ඇත්තේ  මන්ත්‍රීධුර  674 ක් ලබා ගනිමිනි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 695523 ක් ලබා සියයට 6.26% ප්‍රතිශතයක් ලබාගනිමින්  මන්ත්‍රීධුර 432 කට හිමිකම් කියන අතර මැතිවරණයෙන් ඔවුනට සිව්වැනි ස්ථානය හිමිව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 498139 ක් ලබා සියයට 4.48%  හිමිකරගෙන  මන්ත්‍රී ධුර ගණන 362 ක් සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 339675 ලබා සියයට 3.06% හිමිකරගෙන  මන්ත්‍රී ධුර ප්‍රමාණය 407 කට හිමිකම් කියමින් පිළිවෙලින් පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගෙන ඇත.

ආයතන බෙදී යාම

තලවකැලේ නගර සභාවේ බලය හිමිකරගෙන ඇති ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළියේ පලාත් පාලන ආයතන 11ක බලය ගැනීම සඳහා ශ්‍රීලපොපෙ ට හවුල් වී සිටී.

ඒ අනුව දිවයිනේ පළාත් පාලන ආයතන341 කින් 239 කම බලය දිනා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

එක්සත් ජාතික පක්ෂය ආයතන 41 ක බලය තමන් සතු කරගෙන සිටින අතර ඊළඟට වැඩිම සංඛ්‍යාව වන  ආයතන 34ක් දිනා ඇත්තේ උතුරු නැගෙනහිර පමණක් තරග වැදුනු දෙමළ ජාතික සන්ධානයයි.

සිව්වැනියට පැමිණ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 10 ක බලය තහවුරු කරගෙන සිටී.

මැකො ගේ “අවසන් ප්‍රතිපලය”

කෙසේ වෙතත්, ඡන්දයෙන්  දින දෙකක් ගතවීත් අවසාන ප්‍රතිපලය නිකුත් කර නැති කොමිසම පවසන්නේ තමන් සතු තොරතුරු ජනමාධ්‍ය වෙත කඩිනමින් ලබා දීමට ක්‍රමවේදයක් නැති බවයි.

“මේ පද්ධතිය සකස් කොට තිබුනේ ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථාන වලින්  ලැබෙන ප්‍රතිපල ලැබෙන පරිදි සිතියම සහ අදාළ දත්ත ස්වයංක්‍රීය ලෙසින් යාවත්කාලීන වන පරිද්දෙනි. එහෙත් මැතිවරණ කොමිසමට සමස්ත කොට්ඨාශ සඳහා දත්ත ලැබුනේ පද්ධතියට ඇතුල් කළ නොහැකි ආකාරයෙන් ස්කෑන් කරන ලද දෘඪ පිටපතක් ලෙසයි,” යනුවෙන් මැතිවරණ ප්‍රතිපල පල කිරීමට නියමිත පිටුවේ ඉංග්‍රීසි දැන්වීමක් පල කර තිබේ.

මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේදී දැන් මතුව ඇති ගැටලුව සඳහා විසඳුමක් කල්තියා සකස් නොකළේ මන්දැයි කොමිසම පැහැදිලි කොට නැත.

කෙසේවෙතත්, ප්‍රාදේශීය ප්‍රතිපල ඇතුලත් ලියවිලි වල පිටපත් සියල්ලම පාහේ මැතිවරණ කොමිසම විසින් ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

එය “නිල ඡන්ද ප්‍රතිපලය” ලෙස මුහුණු පොතේ දක්වා තිබුනත්, අවසන් නිල ප්‍රතිපලය පෙබරවාරි 12 රාත්‍රී 8 වනවිටත්  එහි තිබුනේ  නැත.

Related posts

Comments are closed.

Top